නිරෝධායනය අවසන් කල පුද්ගලයින් 118ක් නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පිටව යයි.

සාම්පූර් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 98 ක් සහ ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 20 ක් වශයෙන් නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන්හි නිරෝධායනය සඳහා යොමු කර සිටි පුද්ගලයින් 118 දෙනෙකු අද (2020 මැයි 08) එම මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.

සාම්පූර් නාවික හමුදා මැරීන් බලඝණ මූලස්ථානයේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව ගිය පුද්ගලයින් 98 දෙනා කොළඹ ගුණසිංහපුර, වේල්ලවීදිය, ග්‍රෑන්ඩ්පාස් සහ නාගලගං වීදිය යන ප්‍රදේශයන්හි පුද්ගලයින් වන අතර, ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව ගිය පුද්ගලයින් 20 දෙනා ජා-ඇල ප්‍රදේශයෙහි පුද්ගලයින් වේ. මොවුන් සියළු දෙනාම කොරෝනා වෛරසය ආසාධිතයින් සමඟ සමීප සබඳතා පැවැත්වූවන් බවට හදුනා ගැනීම හේතුවෙන් 2020 අප්‍රේල් මස 11 සහ 16 යන දිනයන්හි නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කල පුද්ගලයින් වේ. ඒ අනුව එම නිරෝධායන මධ්‍යස්ථාන තුලදී දින 21කට වැඩි දින ප්‍රමාණයක් සාර්ථකව නිරෝධායනය වූ පුද්ගලයින් 118 දෙනෙකු ගෙන් යුත් මෙම පිරිස මෙලෙස අද (2020 මැයි 08) එම මධ්‍යස්ථානයන්ගෙන් පිටව යන ලදි.

තවද, මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ පුද්ගලයින් නිරෝධායනය කිරීමේදී ඔවුන් සම්බන්ධයෙන් වැඩි සැළකිල්ලක් දැක්වූ නාවික හමුදාව ඔවුන් නිරෝධායනයට මෙන්ම මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදවා ගැනීම සඳහා වූ කටයුතු රාශියක් සිදු කරන ලදි. එහි ඉදිරි පියවරක් ලෙස සාම්පූර් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ පුද්ගලයින් 07 දෙනෙකු අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය (National Dangerous Drugs Control Board) යටතේ පවත්වාගෙන යනු ලබන නිට්ටඹුව, ඌරාපොල ප්‍රදේශයේ පිහිටි ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට කටයුතු කරන ලදි.

මෙම සියළුම පුද්ගලයින් නිරෝධායනය සඳහා යොමු කර සිටි කාලය අතරතුර පීසීආර් පරීක්‍ෂණයන්ට යොමු කරන ලද අතර, එම පරීක්‍ෂණ මගින්ද වෛරසය ඔවුන්ගේ ශරීර තුල නොමැති බවට තහවුරු කර ගන්නා ලදි. ඒ අනුව මෙලෙස නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලද පුද්ගලයින් සඳහා නිරෝධායනය සාර්ථකව අවසන් කල බවට ලබා ‍‍දෙනු ලබන සහතිකපත් ලබා දීමටද නාවික හමුදාව කටයුතු කරන ලදි.

ඒ අනුව සාම්පූර් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය සඳහා යොමු කර සිටි සියළුම පුද්ගලයින් මේ වන විට නිරෝධායනය අවසන් කර පිටත්ව ගොස් ඇත. තවද, ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් අද (2020 මැයි 08) පිටත්ව යන පිරිසද ඇතුළුව පුද්ගලයින් 49ක් නිරෝධායනය අවසන් කර පිටත්ව ගොස් ඇති අතර, තවදුරටත් එහි පුද්ගලයින් 19 ක පිරිසක් නිරෝධායනය වෙමින් සිටී.

සාම්පූර් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව ගිය පිරිස

ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව ගිය පිරිස