නාවික හමුදාවේ COVID -19 අසාධනය වූ පළමු නාවිකයා සුවය ලබා රෝහලෙන් පිටව යයි.

කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට මුල් වරට හදුනා ගත් පොළොන්නරුව ප්‍රදේශයේ නාවිකයා ඇතුළු රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් කොරෝනා වෛරසය ආසාධිතවූ නාවික හමුදා පුද්ගලයින් 05 දෙනෙකු සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් වෛරසය ශරීර තුල නොමැති බවට තහවුරු කර ගැනීමෙන් පසු 2020 මැයි මස 08 සහ 09 යන දිනයන්හි රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

මුල් වරට කොරෝනා වෛරසය ආසාධිත බවට හදුනා ගත් නාවික හමුදා පුද්ගලයාද සමඟ මෙම නාවික පුද්ගලයින් 05 දෙනාම වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කල නාවිකයින් වේ. වෛරසය ආසාධිත පළමු නාවිකයා නිවාඩු ලබා ගොස් සිටියදී උණ රෝගී තත්වයක් හේතුවෙන් පොළොන්නරුව රෝහල වෙත ඇතුලත් කර ඇති අතර, එහිදී සිදු කල පරීක්‍ෂණ මගින් ඔහු කොවිඩ් - 19 ආසාධිතයෙකු බවට හදුනා ගැනීමෙන් පසු වැඩිදුර ප්‍රථිකාර සඳහා වැලිකන්ද රෝහල වෙත ඇතුලත් කරන ලදි. අනෙක් නාවික හමුදා පුද්ගලයින් සිව් දෙනාද (04) කොවිඩ් - 19 වෛරසය ආසාධනය වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා හෝමාගම සහ අයිඩීඑච් යන රෝහල් වෙත ඇතුලත් කර ඇත. මෙලෙස එම රෝහල් තුල ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම නාවික පුද්ගලයින් සඳහා වරින්වර සිදු කල පීසීආර් පරීක්‍ෂණයන්හි ප්‍රථිඵල අනුව අදාල වෛරසය තවදුරටත් ඔවුන්ගේ සිරුරු තුල නොමැති බව තහවුරු වීම නිසා ඔවුන් 2020 මැයි 08 සහ 09 යන දිනයන්හි රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.‍

මේ අනුව මෙම නාවික පුද්ගලයින් 05 දෙනාද ඇතුළුව වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා පුද්ගලයින් සංඛ්‍යාවෙන් 21 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇත.තවද, මෙලෙස සුවය ලබා රෝහල් වෙතින් පිටත්ව ගියද එම සියළුම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලදි.