නිරෝධායන කටයුතු අවසන්කල තවත් පුද්ගලයින් 14 දෙනෙක් බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව යයි.

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 14 දෙනෙකු 2020 මැයි 08 සහ 09 යන දිනයන්හි එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි.

සාර්ථකව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ ජාත්‍යන්තර නෞකා සහ වරාය ආරක්‍ෂණ රාජකාරීන්හි නියුතු පුද්ගලයින් 14 දෙනෙකු මෙලෙස 2020 මැයි 08 සහ 09 යන දිනයන්හි බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි. මෙම පුද්ගලයින් සියළු දෙනාම නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පිටත් කර යැවීමට ප්‍රථම පීසීආර් පරීක්‍ෂණයකට භාජනය කිරීමෙන් පසු කොව්ඩ් -19 වෛරසය ඔවුන්ගේ සිරුරු තුල නොමැති බව තහවුරු කර ගන්නා ලද අතර, මෙහිදී ඔවුන් වෙත නිරෝධායනය සාර්ථකව අවසන් කල බවට ලබා ‍‍දෙනු ලබන සහතිකපත් ලබා දීමටත් නාවික හමුදාව මෙහිදී කටයුතු කරන ලදි.

තවද, මේ වන විට පුද්ගලයින් 129ක් නිරෝධායනය අවසන් කර මෙම මධ්‍යස්ථානයෙන් පිටත්ව ගොස් ඇති අතර, තවදුරටත් බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙහි ශ්‍රී ලාංකික පුද්ගලයින් 55 ක පිරිසක් නිරෝධායනය වෙමින් සිටී.