කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා සිදු කරන වැඩසටහන් සඳහා නාවික හමුදාව වෙත රාගම ප්‍රදේශයේ ජනතාව විසින් මුහුණු ආවරණ තොගයක් පරිත්‍යාග කෙරේ.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය මුහුණු ආවරණ තොගයක් රාගම ප්‍රදේශයේ ජනතාව විසින් නාවික හමුදාව වෙත ලබා දීමට අද (2020 මැයි 09) කටයුතු කරන ලදි. p>

විශේෂයෙන් නාවික හමුදාව විසින් රාගම ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් සිදු කල සමාජ සුභසාධන ක්‍රියාවන් සහ පසුගිය පාස්කු දින ප්‍රහාරය අවස්ථාවේ ලබා දුන් ආරක්‍ෂාව වෙනුවෙන් කෘතගුණ දක්වීමක් වශයෙන් මෙම මුහුණු ආවරණ නාවික හමුදාව වෙත පරිත්‍යාග කිරීමට රාගම පේදුරු පාවුළු දේවස්ථානයට අයත් තේවත්ත පාර අවමංගල්‍යාධාර කතෝලික සුභසාධක සමිතියේ ඒකක අංක 02 සහ 03 හි සහෝදර හිතවතුන් විසින් කටයුතු කර ඇත.

රටක් වශයෙන් කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා එක්ව කටයුතු කල යුතු අවස්ථාවක මෙවැනි සමිති සංවිධාන මගින් ඒ සඳහා දක්වනු ලබන දායකත්වය ඉතා අගය කල යුතුව ඇති අතර, මෙම පරිත්‍යාගය නාවික හමුදාව වෙත ලබා දීම සම්බන්ධයෙන් එම අවමංගල්‍යාධාර කතෝලික සුභසාධක සමිතියේ සාමාජිකයින් වෙත නාවික හමුදාව වෙනුවෙන් එම විෂයන් භාර ගැනීම සඳහා සහභාගී වූ නිලධාරීන් විසින් සිය කෘතවේදීත්වය පලකර සිටින ලදි.‍