ගංවතුර ආපදාවට පෙර සුදානමක් ලෙස ගාල්ල, අගලිය පාලම අසල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට නාවික හමුදාව කටයුතු කරයි.

ගාල්ල, අගලිය පාලම තුල ජලය බැසයාමට බාධාවන ලෙස සිරවී තිබූ දැව කඳන් සහ අපද්‍රව්‍ය ඉවත් කර ඉදිරියේදී ඇති විය හැකි ගංවතුර ආපදා තත්වය මැඩ පැවැත්වීමට නාවික හමුදාව 2020 මැයි 09 වන දින කටයුතු කරන ලදී.

ඉදිරියේදී ඇති විය හැකි වැසි සහිත කාළගුණයන් යටතේ ගිං ග‍ඟෙහි ජල මට්ටම ඉහළ යෑම සිදුවන බැවින්, ඇතිවිය හැකි ගංවතුර ආපදා තත්වයට පෙර සූදානමක් ලෙස ගංවතුර අවදානමට පිළියමක් වශයෙන් ගිං ගඟ හරහා වැටී ඇති අගලිය පාලම තුළ සිරවී ඇති විශාල උණ පඳුරු, දැව කඳන් හා අපද්‍රව්‍ය ඉවත් කිරීම දකුණු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කස්සප පෝල්ගේ උපදෙස් මත 2020 මැයි 09 වන දින සිදු කරන ලදි. මෙහිදී දකුණු නාවික විධානයට අනුයුක්ත කිමිදුම් අංශයේ නාවිකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් මහත් පරිශ්‍රමයක් යොදා එම අපද්‍රව්‍ය ඉවත්කර ජලය බාධාවකින් තොරව ගලා යාමට සැලැස්වීමට කටයුතු කරන ලදි. ඉදිරියේදී ඇති විය හැකි ගංවතුර අවධාන‍මින් ගඟ දෙපස නිවාසවල ජිවත්වන ජනතාවගේ ආරක්‍ෂාව සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි.

රටතුල දැනට පවතින ව්‍යසනකාරී අවස්ථාවේ එම තත්වය පාලනය කිරීම සඳහා ගතහැකි සෑම පියවරක්ම ගනිමින් සිටින නාවික හමුදාව ඉදිරියේදී ඇති විය හැකි අවධානම් තත්වයන්ගෙන්ද ජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් නිරන්තර අවදානයෙන් සිටී.