ගංවතුර ආපදාවට පෙර සුදානමක් ලෙස ගාල්ල, වක්වැල්ල පාලම තුල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට නාවික හමුදාව කටයුතු කරයි

ගාල්ල, වක්වැල්ල පාලම තුල සිරවී තිබූ දැව කඳන් සහ අපද්‍රව්‍ය ඉවත් කර ජලය නිසි පරිදි බැස යාමට සැලැස්වීමෙන් එම ප්‍රදේශයට ඉදිරියේදී ඇති විය හැකි ගංවතුර ආපදා තත්වය මැඩ පැවැත්වීමට 2020 මැයි මස 10 වන දින නාවික හමුදාව කටයුතු කරන ලදී.

මෙහිදී ඉදිරියේදී ඇති විය හැකි වැසි සහිත කාළගුණයන් යටතේ ගිං ග‍ඟෙහි ජල මට්ටම ඉහළ යෑම සිදුවන බැවින්, ඇතිවිය හැකි ගංවතුර ආපදා තත්වයට පෙර සූදානමක් ලෙස ගංවතුර අවදානමට පිළියමක් වශයෙන් වක්වැල්ල පාලම තුල සිරවී තිබු විශාල උණ පඳුරු, දැව කඳන් හා අපද්‍රව්‍ය ඉවත් කිරීම සිදු කරන ලදි. දකුණු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කස්සප පෝල්ගේ උපදෙස් මත ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන සඳහා දකුණු නාවික විධානයට අනුයුක්ත කිමිදුම් අංශයේ නාවිකයින්ගෙන් සමන් විත කණ්ඩායමක් අනුයුක්ත කරන ලද අතර, මහත් පරිශ්‍රමයක් යොදා එම අපද්‍රව්‍ය ඉවත්කර ජලය බාධාවකින් තොරව ගලා යාමට සැලැස්වීමට කටයුතු කරන ලදි

රටතුල දැනට කොරෝනා වෛරසය හේතුවෙන් ඇතිවී තිබෙන තත්වය පාලනය කිරීම සඳහා ගතහැකි සෑම පියවරක්ම ගනිමින් සිටින නාවික හමුදාව ඉදිරියේදී ඇති විය හැකි අවධානම් තත්වයන්ගෙන්ද ජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් නිරන්තර අවදානයෙන් සිටී.