කොවිඩ් - 19 ආසාධනයවී සුව වූ තවත් නාවික හමුදා පුද්ගලයින් 12 දෙනෙකු රෝහල් වෙතින් පිටව යයි.

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 12 දෙනෙකු සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් වෛරසය ශරීර තුල නොමැති බවට තහවුරු කර ගැනීමෙන් පසු 2020 මැයි මස 09 වන දින සවස් භාගයේදී සහ 2020 මැයි මස 10 සහ වන දිනයේදී රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

මෙම නාවික පුද්ගලයින් සියළු දෙනාම කොවිඩ් - 19 වෛරසය ආසාධනය වීම හේතුවෙන් ප්‍රථිකාර සඳහා රෝහල් වෙත යොමු කර ඇති අතර, ඔවුන්ගෙන් 05 දෙනෙක් අයිඩීඑච් රෝහලෙහිද, සිව් දෙනෙක් (04) නාවික මහ රෝහලෙහිද, අනෙක් තිදෙදෙනා (03) හෝමාගම රෝහලෙහිද ප්‍රතිකාර ලබා ගන්නා ලදි. ඒ අනුව එම රෝහල් තුල ප්‍රතිකාර ලබමින් සිටියදී වරින්වර සිදු කල පීසීආර් පරීක්‍ෂණයන්හි ප්‍රථිඵල අනුව අදාල වෛරසය තවදුරටත් එම නාවිකයින්ගේ සිරුරු තුල නොමැති බව තහවුරු වීම නිසා මෙලෙස 2020 මැයි මස 09 වන දින සවස් භාගයේදී සහ 2020 මැයි මස 10 වන දිනයේදී එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.‍

මෙම පුද්ගලයින් 12 දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල නාවික හමුදා සාමාජිකයින් 33ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇත., රෝහල් වෙතින් පිටත්ව ගියද මෙම සියළුම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලදි.