නාවික හමුදාව විසින් ගාල්ල සිට බෙලිඅත්ත දක්වා ඇති සියලුම දුම්රිය ස්ථාන විෂබීජහරණයට ලක් කරයි

කොරෝනා’වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන යටතේ අද (2020 මැයි 11) ගාල්ල සිට බෙලිඅත්ත දක්වා ඇති සියලුම දුම්රිය ස්ථාන පූර්ණ විෂබීජහරණයකට ලක් කිරීමට කටයුතු කරන ලදි.

දකුණු නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්වීම පිළිබඳ ඒකකය විසින් මෙම විෂබීජහරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලද අතර, ඇඳිරි නීති තත්වය ඉවත් කිරීමත් සමඟ රාජකාරි ස්ථාන වෙත යාමට දුම්රිය සේවය භාවිතා කරනු ලබන මගී ජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් මෙම විෂබීජහරණ වැඩසටහන පැවැත්වීමට කටයුතු කරන ලදි.

තවද, ඉදිරියේදීද වෛරසය ව්‍යාප්ත වීම වැලැක්වීම සඳහා මහජනතාව ගැවසෙන පොදු ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් විෂබීජහරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.