නීති විරෝධී ගංජා හේනක් වැටලීමට නාවික හමුදාවේ සහාය

නාවික හමුදාව සහ අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 මැයි මස 12 වන දින තණමල්විල ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකින් ඉතා රහසිගතව දේශීය ගංජා වගාකර තිබූ හේනක් වටලා සැකකරුවකු (01) අත්අඩංගුවට ගන්නා ලදි.

මෙරට මත්ද්‍රව්‍ය ව්‍යසනය මැඩලීම වෙනුවෙන් නාවික හමුදාව සිය සක්‍රීය දායකත්වය නිරන්තරයෙන් ලබා දෙමින් සිටින අතර, ඒ සඳහා සිදු කරනු ලබන නිරන්තර සෝදිසි මෙහෙයුම් වල තවත් එක් අධියරක් දකුණු නාවික විධානයේ නාවිකයින් පිරිසක් අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව මෙලෙස තණමල්විල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සිදු කරන ලදි. එහිදී ඉතා රහසිගත ලෙස වගා කර තිබූ මෙම දේශිය ගංජා හේන සොයා ගැනීමට සමත්වූ අතර, එම ගංජා හේනේ තිබී අඩි 06ක් පමණ උස ගංජා ශාක 9250ක පමණ ප්‍රමාණයක්, අඩි 02ත් 06ත් අතර ගංජා ශාක 6050ක පමණ ප්‍රමාණයක් වශයෙන් මුළු ගංජා ශාක 15300ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවිය. මෙහිදී එක් (01) සැකකරුවකුද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස සොයා ගන්නා ලද ගංජා ශාක එම ස්ථානයේදීම ගිනි තබා විනාශ කිරීමට කටයුතු කරන ලද අතර, අත්අඩංගුවට ගන්නා ලද වයස අවුරුදු 43ක් වන තණමල්විල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට අනාවරණය කරගත් සැකකරු ඉදිරි විමර්ශන සිදු කිරීම සඳහා තණමල්විල පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.