දියේ ගිලී මියගිය පුද්ගලයෙකුගේ මෘත දේහය නාවික හමුදාව විසින් සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2020 මැයි මස 12 වන දින මොණරාගල, මුතුකන්ඩිය ජලාශයේ ගිලී අතුරුදහන් වූ පුද්ගලයෙකුගේ මෘත දේහය සොයා ගැනීමට සමත් විය.

මොණරාගල, මුතුකන්ඩිය ජලාශයේ ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් සිටි අවුරුදු 63ක් වන මුතුකන්ඩිය, ධීවර ගම්මානයේ පදිංචි පුද්ගලයෙකු ඔහු යාත්‍රා කල ඔරුව පෙරළී දියේ ගිලී අතුරු දහන්වී ඇති බවත්, එම පුද්ගලයා සෙවීමේ කටයුතු සඳහා නාවික හමුදා සහාය ලබා දීමට කටයුතු කරන ලෙසත් ගොව්දුපුර පොලිසිය විසින් නාවික හමුදාව වෙත දැනුම් දෙන ලදි. ඒ අනුව ක්‍ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදාව මෙම මෙහෙයුම සඳහා ගිණිකොන නාවික විධානයට අනුයුක්ත කිමිදුම් අංශයේ නාවිකයන් පිරිසක් අදාල ස්ථානය වෙත කඩිනමින් යොමු කිරීමට කටයුතු කරන ලදී.

ඒ අනුව එම නාවික හමුදා කිමිදුම් කණ්ඩායම විසින් දියේ ගිලී අතුරුදහන්ව සිටි පුද්ගලයාගේ මෘත දේහය සොයා ගන්නා ලද අතර, එම මෘත දේහය ගොව්දුපුර පොලිස් ස්ථානය වෙත වැඩිදුර පරීක්ෂණ සඳහා භාර දීමට කටයුතු කරන ලදි.