සාර්ථක නිරෝධායන ක්‍රියාවලියකින් පසු නාවික හමුදා පුද්ගලයින්ගේ පවුල් වල සාමාජිකයින් 223ක් නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පිටව යයි.

නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර සිටි නාවික හමුදා පුද්ගලයින්ගේ පවුල් 58කට අයත් සමාජිකයින් 223 ක පිරිසක් සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කර 2020 මැයි 12 සහ 13 යන දිනයන්හි එම නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.

මෙහිදී මිහින්තලය නාවික හමුදා නිවාඩු නිකේතනයේ නිරෝධායනය සඳහා යොමු කර සිටි පවුල් 16කට අයත් පුද්ගලයින් 70ක පිරිසක්, ගාල්ල බූස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායනය සඳහා යොමු කර සිටි පවුල් 03කට අයත් පුද්ගලයින් 11ක්, හබරාදුව පොලිස් ගොඩනැගිල්ලේ නිරෝධායනය සඳහා යොමු කර සිටි පවුල් 07කට අයත් පුද්ගලයින් 27ක පිරිසක්, පානම ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයේ නිරෝධායනය සඳහා යොමු කර සිටි පවුල් දෙකකට (02) අයත් පුද්ගලයින් 09ක්, ඔයාමඩුව නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ පවුල් 03කට අයත් පුද්ගලයින් 08ක්, දියතලාව නාවික හමුදා නිවාඩු නිකේතනයේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානයෙන් පවුල් 09කට අයත් පුද්ගලයින් 32ක්, නුවර වැව නිවාඩු නිකේතනයේ ස්ථාපිත නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පවුල් 05කට අයත් පුද්ගලයින් 16ක් සහ කල්පිටිය ප්‍රදේශයේ හෝටල් දෙකක නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන දෙකකින් පවුල් 13කට අයත් පුද්ගලයින් 50ක පිරිසක් වශයෙන් සමස්ථ නාවික හමුදා සාමාජිකයින්ගේ පවුල් 58කට අයත් පුද්ගලයින් 223ක පිරිසක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර රජයේ සෞඛ්‍ය උපදෙස් වලට අනුව එම මධ්‍යස්ථානයන් තුලින් පිටත් කර යැවීමට කටයුතු කරන ලදි. මෙහිදී ඔවුන් වෙත නිරෝධායනය සාර්ථකව අවසන් කල බවට ලබා ‍‍දෙනු ලබන සහතිකපත් ලබා දීමටද කටයුතු කරන ලදි.

ඒ අනුව, මේ වන විට නාවික හමුදා පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් බොහෝ පිරිසක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් පිටව ගොස් ඇත.