සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් හට විවේක ගැනීම සඳහා ‘Udekki Beach Resort’ නිවාඩු නිකේතනය නාවික හමුදාව වෙත තාවකාලිකව ලබා දෙයි.

නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝනයේ අණභාර නිලධාරීයෙකු ලෙස රට වෙනුවෙන් විශිෂ්ඨ කාර්යභාරයක් ඉටුකර මාතෘ භූමියේ ඒකීය භාවය වෙනුවෙන් සිය දිවි පිදූ ලුතිනන් කොමාණ්ඩර් සෙඩ්ඩ්‍රික් මාටින්ස්ටෛන් සිහිවීම පිණිස එතුමන්ගේ සහෝදරයාගේ මූලිකත්වයෙන් කල්පිටිය ප්‍රදේශයේ පිහිටි ‘Udekki Beach Resort’ නිවාඩු නිකේතනය ‍කොරෝනා මැඩලීමේ නාවික හමුදා මෙහෙයුමේ සුභසාධන කටයුතු සඳහා යොදා ගැනීමට නිල වශයෙන් නාවික හමුදාව වෙත භාරදීම 2020 මැයි 13 වන දින සිදු කරන ලදි.

කොවිඩ් 19 ආසාධනය වී සුවය ලැබූ නාවික පුද්ගලයින් රාජකාරි කටයුතු සඳහා යොමු කිරීමට ප්‍රථම තවදුරටත් විවේක ගැන්වීම සඳහා නාවික හමුදාව ගෙනයන වැඩපිළිවෙලට දායක වෙමින්, නාවික හමුදා පුද්ගලයින් හට විවේක ගැනීමට යොදා ගන්නා මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීමට Breakers Edge Properties Pvt Ltd සමාගමේ කළමණාකරණ අධ්‍යක්‍ෂ ඩලස් මාටින්ස්ටෛන් මහතාගේ මූලිකත්වයෙන් එම සමාගමට අයත් කල්පිටිය ප්‍රදේශයේ පිහිටි ‘Udekki Beach Resort’ නිවාඩු නිකේතනය නාවික හමුදාව වෙත තාවකාලිකව නිළ වශයෙන් භාරදීම 2020 මැයි 13වන දින නාවික හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී සිදු කරන ලදි. මෙම අවස්ථාවට Breakers Edge Properties Pvt Ltd සමාගමේ කළමණාකරණ අධ්‍යක්‍ෂ ඩලස් මාටින්ස්ටෛන් මහතා සහභාගී වී සිටින ලද අතර නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා විසින් නාවික හමුදාව වෙනුවෙන් අදාල නිවාඩු නිකේතනය භාර ගැනීම සිදු කරන ලදි.

නාවික හමුදාව වෙනුවෙන් මෙම නිවාඩු නිකේතනය ලබා දීම සම්බන්ධයෙන් මෙම අවස්ථාවේදී නාවික හමුදාධිපති තුමන් විසින් Breakers Edge Properties Pvt Ltd සමාගමේ කළමණාකරණ අධ්‍යක්‍ෂ ඩලස් මාටින්ස්ටෛන් වෙත සිය කෘතඥතාවය පල කර සිටින ලද අතර, ඇති වී තිබෙන මෙම තත්වය සාමාන්‍ය අතට පත් වූ පසු නැවතත් මෙම හෝටලයේ මෙහෙයුම් සාමාන්‍ය පරිදි නැවත ආරම්භ කිරීම සඳහා භාර දීමට නියමිතව ඇත.