සාර්ථක නිරෝධායන ක්‍රියාවලියකින් පසු නාවික හමුදා පුද්ගලයින්ගේ පවුල් වල තවත් සාමාජිකයින් 162ක් නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පිටව යයි.

නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර සිටි තවත් නාවික හමුදා පුද්ගලයින්ගේ පවුල් 35කට අයත් සමාජිකයින් 162 ක පිරිසක් සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කර 2020 මැයි මස 14 වන දින එම නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.

මෙහිදී තලාතුඔය. බෙල්වුඩ් තරැණ සේවා සභා සෞන්දර්ය නිකේතනයේ පිහිටි නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර සිටි පවුල් 11කට අයත් පුද්ගලයින් 50ක පිරිසක්, රන්මිණිතැන්න නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර සිටි පවුල් 02කට අයත් පුද්ගලයින් 09ක්, හබරාදුව පොලිස් ගොඩනැගිල්ලේ නිරෝධායනය සඳහා යොමු කර සිටි පවුල් 05කට අයත් පුද්ගලයින් 18ක පිරිසක්, මිහින්තලය නාවික හමුදා නිවාඩු නිකේතනයේ නිරෝධායනය සඳහා යොමු කර සිටි පවුල් 11කට අයත් පුද්ගලයින් 52ක පිරිසක්, ‘වැලිගම් බේ’ නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර සිටි පවුල් 05කට අයත් පුද්ගලයින් 29ක් සහ අනුරාධපුර ප්‍රදේශයේ ස්ථාපිත තවත් නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයක සිටි නාවික හමුදා සාමාජිකයින්ගේ පවුල් වල පුද්ගලයින් සිව් දෙනෙක් (04) වශයෙන් සමස්ථ නාවික හමුදා සාමාජිකයින්ගේ පවුල් 35කට අයත් පුද්ගලයින් 162ක පිරිසක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර රජයේ සෞඛ්‍ය උපදෙස් වලට අනුව එම මධ්‍යස්ථානයන් තුලින් පිටත් කර යැවීමට කටයුතු කරන ලදි. මෙහිදී ඔවුන් වෙත නිරෝධායනය සාර්ථකව අවසන් කල බවට ලබා ‍‍දෙනු ලබන සහතිකපත් ලබා දීමටද කටයුතු කරන ලදි.

ඒ අනුව, මේ වන විට නාවික හමුදා පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් බොහෝ පිරිසක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් පිටව ගොස් ඇති අතර, මෙම සියළුම පුද්ගලයින් නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් පිටව ගියද තවත් දින 14ක කාලයක් ඔවුන්ගේ නිවෙස් තුල සිට ස්වයං නිරෝධායනය වීමට කටයුතු කෙරෙනු ඇත.