ගංවතුර උවදුරට මුහුණ දීම සඳහා නාවික හමුදාව කැළණි ග‍ඟේ ලවණ බාධක ඉවත් කරයි.

මේ දින වල ඇදහැලෙන වර්ෂාවේ වැඩි වීමත් සමඟ ඉදිරියේදී ඇති විය හැකි ගංවතුර තත්වයෙන් කැළණි ගඟ දෙපස ජනතාව ආරක්‍ෂා කිරීම සඳහා කැළණි ග‍‍ඟ හරහා අඹතලේ ප්‍රදේශයේ වැලි කොට්ට යොදා ඉදිකර ඇති ලවණ බාධකය ඉවත් කිරීමට නාවික හමුදාව 2020 මැයි මස 13 සහ 14 යන දිනයන්හි කටයුතු කරන ලදි.

කැළණි ග‍ඟෙහි ජල මට්ටම අඩුවන කාලසීමාවේදී කැළණි ග‍‍ඟෙන් අඹතලේ ජල පවිත්‍රාගාරය වෙත ජලය සපයනු ලබන ස්ථානයට මුහුදු ජලය මිශ්‍රවීම මගින් කොළඹ ප්‍රදේශයේ පානීය ජලය සහ ගෙවතු ආශිත වගාවන් සදහා අවශ්‍යවන පිරිසිදු ජලය සැපයීමේ ක්‍රියාවලිය අඩපණ නොවී පවත්වාගෙන යාමට අඹතලේ ප්‍රදේශයේදී කැළණි ග‍ඟ හරහා වැලි කොට්ට යොදා තාවකාලික ඉදිකර තිබූ ලවණ බාධකය ඉවත් කිරීමට නාවික හමුදාව මෙලෙස 2020 මැයි මස 13 සහ 14 යන දිනයන්හි කටයුතු කරන ලදි. මෙම ලවණ බාධකය ඉවත් කිරීම මගින් ග‍ඟේ පෝෂක ප්‍රදේශ වලට මේ දිනවල ඇඳ හැලෙන වර්ශාව හේතුවෙන් ඉහළ යන ගංඟා ජලමට්ටම බාධාවකින් තොරව ගලා යාමට ඉඩ සැලැස්වීම මගින් ගඟ දෙපස ප්‍රදේශ වලට ඇතිවිය හැකි ගං වතුර අවධානම මඟ හැරවීම මෙමගින් අපේක්‍ෂා කෙරේ. මේ සඳහා බටහිර නාවික විධානයට අනුයුක්ත කිමිදුම් අංශයේ නාවිකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් යෙදවීමට නාවික හමුදාව කටයුතු කරන ලද අතර එම කණ්ඩායම විසින් දැඩි පරිශ්‍රමයක් යොදා එම වැලි කොට්ට සාර්ථකව ඉවත් කිරීමට කටයුතු කරන ලදි.

කොරෝනා වෛරසය මැඩලීමේ මෙහෙයුම් සඳහා අඛණ්ඩ දායකත්වය ලබා දෙමින් සිටින නාවික හමුදාව ඉදිරියේදී වර්ෂාවේ වැඩි වීමත් සමඟ ඇති විය හැකි ගංවතුර තත්වයන්ගෙන්ද ජනතාව ආරක්‍ෂා කිරීම සඳහා මේ වන විටත් මෙවැනි බෝහෝ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටී.