නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදු කල ඒකාබද්ධ ‍මෙහෙයුම් දෙකකදී ගංජා සමඟ පුද්ගලයන් සිව්දෙනෙකු (04) අත් අඩංගුවට ගැනීමට සමත්විය.

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 මැයි මස 15 වන දින බෙලිඅත්ත සහ තණමල්විල යන ප්‍රදේශයන්හි සිදුකල මෙහෙයුම් දෙකකදී කේරළ ගංජා සමඟ පුද්ගලයින් තිදෙනෙකුත් (03) දේශීය ගංජා සමඟ එක් (01) කාන්තාවකුත් අත්අඩංගුවට ගැනීමට සමත් විය.

රටේ පවතින ව්‍යසනකාරී තත්වය හමුවේ වුවද මත්ද්‍රව්‍ය මැඩලීමේ ජාතික කර්තව්‍යයට උරදෙමින් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාව සාගරය හරහා මෙරටට රැගෙන ඒමට උත්සහ කළ මත්ද්‍රව්‍ය මෙන්ම රට අභ්‍යන්තරය තුළ හුවමාරු වන මත්ද්‍රව්‍ය වැටලීමේ සාර්ථක මෙහෙයුම් දියත් කරමින් සිටී. ඒ අනුව දකුණු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් තංගල්ල පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව බෙලිඅත්ත ප්‍රදේශයේ සිදු කල එක් මෙහෙයුමකදී විකිණීම සඳහා රැගෙන යමින් තිබූ කේරළ ගංජා ග්‍රෑම් 900ක පමණ ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් තිදෙනෙක් (03) අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

තවද, අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව තණමල්විල, කහකුරුල්ලන්පැලැස්ස ප්‍රදේශයේ සිදු කල තවත් මෙහෙයුමකදී විකිණීමට සූදානම් කර තිබූ දේශීය ගංජා කිලෝග්‍රෑම් 02 ග්‍රෑම් 500ක පමණ ප්‍රමාණයක් සමඟ කාන්තාවක් අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලද අතර, එහිදී විද්‍යුත් තරාදියක් සහ ගංජා අලෙවි කර උපයාගෙන තිබූ රු ලක්‍ෂ හයක (රු.600,000.00) පමණ මුදලක්ද අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස බෙලිඅත්ත ප්‍රදේශයේදී අත් අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් වයස අවුරුදු 37 සහ 39 යන වයස් වල පසුවන මෝදරවාන සහ පල්ලත්තර ප්‍රදේශයන්හි පදිංචි කරුවන් බවත්, තරණමල්විල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලද කාන්තාව වයස අවුරුදු 30ක් වන එම ප්‍රදේශයේම පදිංචිකාරියක් බවටත් කරුණු අණාවරණය කර ගන්නා ලදි. ඒ අනුව අදාල සැකකරුවන්, ඔවුන් සතුව තිබූ ගංජා සහ අත් අඩංගුවට ගන්නා ලද අනෙකුත් විෂයන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමට බෙලිඅත්ත සහ තණමල්විල යන පොලිස් ස්ථාන වෙත භාරදීමට කටයුතු කරන ලදි.