හෙරොයින් සහ කේරළ ගංජා සමඟ සැකකරුවන් සිව් දෙනෙකු (04) නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 මැයි මස 15 සහ 16 යන දිනයන්හි ඉලුප්පුකඩවායි සහ මුලන්කාවිල් ප්‍රදේශයන්හි සිදුකල සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් සහ කේරළ ගංජා සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු (04) අත් අඩංගුවට ගැනීමට සමත් විය.

නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් දියත් කරනු ලබන අතර. ඒ අනුව උතුරු මැද නාවික විධානයට අයත් අන්තෝනිපුරම් වෙරළ ආරක්‍ෂක මුරකුටියේ රාජකාරි නියුතු නාවික පුද්ගලයින් පිරිසක් විසින් 2020 මැයි මස 15 වන දින ඉලුප්පුකඩවායි ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී මුහුදේ සිට ගොඩබිමට පැමිණි සැක සහිත ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂා කර එහි සිටි පුද්ගලයින් තිදෙනෙකු (03) සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 02ක ප්‍රමාණයක් සොයා ගන්නා ලදි. ඒ අනුව අදාල පුද්ගලයින් තිදෙනා (03), ධීවර යාත්‍රාව සහ එහි තිබූ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

පසුව එම පුද්ගලයින්ගෙන් ලද තොරතුරු වලට අනුව අද (2020 මැයි 16) ඉලුප්පුකඩවායි පොලීසිය හා එක්ව මුලන්කාවිල් ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී එම ප්‍රදේශයේ නිවසක් තුල සිටි තවත් පුද්ගලයෙකු කේරළ ගංජා ග්‍රෑම් 02ක් සමඟ අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 25ත් 30ත් අතර වයස්වල පසුවන නච්චිකුඩා සහ මුලන්කාවිල් ප්‍රදේශයන්හි පදිංචි පුද්ගලයින් බවට හඳුනාගන්නා ලද අතර, එම සැකකරුවන්, හෙරොයින් සහ කේරළ ගංජා ප්‍රමාණය සහ අත් අඩංගුවට ගත් අනෙකුත් විෂයන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා ඉලුප්පුකඩවායි පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.