ත්‍රීරෝද රථයක සඟවා තිබූ දේශිය ගංජා තොගයක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 මැයි මස 16 වන දින කුඩා ඔය ප්‍රදේශයේ සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකදී ත්‍රීරෝද රථයක සඟවා තිබූ දේශිය ගංජා තොගයක් සොයා ගැනීමට සමත් විය.

රට තුල පවතින ව්‍යසනකාරී තත්වය හමුවේ වුවද ශ්‍රී ලංකා නාවික හමුදාව මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජාතික කර්තව්‍යට සෘජු දායකත්වය ලබා දෙමින් නිරන්තර මෙහෙයුම් කටයුතු දියත් කරමින් සිටිනු ලබන අතර, එහි තවත් එක් මෙහෙයුමක් සූරියවැව පොලිස් විශේෂ කාර්ය බලකාය සමග එක්ව කුඩාඔය ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් 2020 මැයි 16 වන දින සිදු කරන ලදි. එහිදී නාවික හමුදා සහ පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් දැක මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රීරෝද රථයක ගමන් කල පුද්ගලයෙකු ත්‍රීරෝද රථය අතහැර පලා ගොස් ඇති අතර, ඒ අනුව අදාල සැකකටයුතු ත්‍රීරෝද රථය (01) පරීක්‍ෂා කිරීමේදී එහි තිබී දේශීය ගංජා කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 345ක පමණ තොගයක් සොයා ගැනීමට හැකිවිය. පසුව අදාල දේශීය ගංජා ප්‍රමාණය සහ ත්‍රීරෝද රථය අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

ඒ අනුව මේ වන විට පලාගිය සැකකරු සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, අත් අඩංගුවට ගත් අදාල දේශිය ගංජා ප්‍රමාණය සහ ත්‍රීරෝද රථය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශණ කටයුතු සඳහා කුඩා ඔය පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.