නිවසක් තුල සඟවා තිබූ ඇත් දලයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව අද (2020 මැයි මස 18) කතරගම, ගෝතමීගම ප්‍රදේශයේ සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකදී නිවසක් තුල සඟවා තිබූ ඇත් දලයක් සමඟ සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට සමත් විය.

දකුණු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බලකාය සමග එක්ව කතරගම, ගෝතමීගම ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ සෝදිසි මෙහෙයුමක් අද (2020 මැයි 18) ක්‍රියාත්මක කරන ලදි. එහිදී ප්‍රදේශයේ නිවසක් තුල සඟවා තිබූ උස අඩි 2 ½ පමණ ඇත් දලයක් සොයා ගැනීමට හැකිවී ඇති අතර, එහිදී අදාල නිවසේ සිටි පුද්ගලයෙකුද සැකපිට අත් අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

මෙලෙස අත් අඩංගුවට ගන්නා ලද පුද්ගලයා වයස අවුරුදු 29ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවකු බවට හදුනාගෙන ඇති අතර, අදාල සැකකරු සහ සොයා ගන්නා ලද ඇත් දලය ඉදිරි විමර්ශණ කටයුතු සඳහා කතරගම පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.