නාවික හමුදා පුද්ගලයින්ගේ පවුල් වල තවත් සාමාජිකයින් 45 දෙනෙකු සාර්ථක නිරෝධායන ක්‍රියාවලියකින් පසු පිටව යයි.

නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර සිටි තවත් නාවික හමුදා පුද්ගලයින්ගේ පවුල් 11 කට අයත් සාමාජිකයින් 45 ක පිරිසක් සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කර 2020 මැයි මස 19වන දින එම නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.

මෙහිදී අනුරාධපුර නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය සඳහා යොමු කර සිටි නාවික හමුදා සාමාජිකයින්ගේ පවුල් 07කට අයත් පුද්ගලයින් 26ක් සහ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ස්ථාපිත නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි නාවික හමුදා සාමාජිකයින්ගේ පවුල් 04කට අයත් පුද්ගලයින් 19ක් වශයෙන් නාවික හමුදා සාමාජිකයින්ගේ පවුල් 11කට අයත් පුද්ගලයින් 45ක පිරිසක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර රජයේ සෞඛ්‍ය උපදෙස් වලට අනුව එම මධ්‍යස්ථානයන් තුලින් පිටත් කර යැවීමට කටයුතු කරන ලදි. මෙහිදී ඔවුන් වෙත නිරෝධායනය සාර්ථකව අවසන් කල බවට ලබා ‍‍දෙනු ලබන සහතිකපත් ලබා දීමටද කටයුතු කරන ලදි.

මෙම සියළුම පුද්ගලයින් නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් පිටව ගියද තවත් දින 14ක කාලයක් ඔවුන්ගේ නිවෙස් තුල සිට ස්වයං නිරෝධායනය වීමට කටයුතු කෙරෙනු ඇත.