තහනම් මත්පෙති, කේරළ ගංජා සහ කඩු ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට.

ශ්‍රී ලංකා නාවික හමුදාව හා ත්‍රිකුණාමලය දිසා දූෂණ මර්ධන ඒකකය එක්ව 2020 මැයි මස 20 වන දින ත්‍රිකුණාමලය ජමාලියා ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී තහනම් මත්පෙති, කේරළ ගංජා සහ කඩු ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමට සමත් විය.

නාවික හමුදාව රට අභ්‍යන්තරයේ සිදුවන නීති විරෝධී ක්‍රියාවන් මැඩ පැවැත්වීම සඳහා මෙන්ම දිවයින වටා සාගරයේ ආරක්‍ෂාව සුරක්‍ෂිත කිරීම වෙනුවෙන්ද තම වගකීම ඉටු කරමින් සිටී. ඒ අනුව 2020 මැයි මස 20 වන දින නැගෙනහිර නාවික විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් සහ ත්‍රිකුණාමලය දිසා දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් පිරිසක් එක්ව ත්‍රිකුණාමලය, ජමාලියා ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී නිවසක් තුල සඟවා තිබූ කාඩ් 09ක අසුරන ලද තහනම් මත් පෙති 90ක ප්‍රමාණයක්, කේරළ ගංජා ග්‍රෑම් 1 මිලිග්‍රෑම් 500 ක පමණ ප්‍රමාණයක් සහ නිවසේ සඟවා තිබූ දේශීයව නිෂ්පාදිත කඩු 04ක් සහ විදේශීයව නිෂ්පාදිත කඩු 01ක් සමඟ පුද්ගලයෙකු (01) අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස අත් අඩංගුවට ගත්නා ලද පුද්ගලයා වයස අවුරුදු 20ක් වන එම ප්‍රදේශයේම පදිංචි අයෙකු බවට හදුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගන්නා ලද එම පුද්ගලයා, තහනම් මත්පෙති, කේරළ ගංජා සහ කඩු 05 වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය පොලිස් මූලස්ථානය වෙත භාරදීමට කටයුතු කරන ලදි.