නාවික හමුදා සහයෙන් තහනම් මත්පෙති සහ හෙරොයින් ලඟ තබා ගෙන සිටි පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට.

ශ්‍රී ලංකා නාවික හමුදාව ත්‍රිකුණාමලය දිසා දූෂණ මර්ධන ඒකකය සහ පුල්මුඩේ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2020 මැයි මස 21 වන දින ත්‍රිකුණාමලය උප්පුවේලි සහ වැලිඔය යන ප්‍රදේශයන්හි සිදු කල සෝදිසි මෙහෙයුම් දෙකකදී තහනම් මත්පෙති සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගැනීමට සමත් විය.

නාවික හමුදාව දිවයින වටා සාගරයේ ආරක්‍ෂාව සුරක්‍ෂිත කිරීම සඳහා මෙන්ම රට අභ්‍යන්තරයේ සිදුවන නීති විරෝධී ක්‍රියාවන් මැඩ පැවැත්වීම සඳහා නිරන්තර මෙහෙයුම් දියත් කරමින් සිටී. ඒ අනුව 2020 මැයි මස 21 වන දින නැගෙනහිර නාවික විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් සහ ත්‍රිකුණාමලය දිසා දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් පිරිසක් එක්ව ත්‍රිකුණාමලය, උප්පුවේලි ප්‍රදේශයේ සිදු කරන ලද එක් සෝදිසි මෙහෙයුමකදී සැක සහිත පුද්ගලයින් දෙදෙනෙකු පරීක්‍ෂා කර ඔවුන් සතුව තිබී කාඩ් 25ක අසුරන ලද තහනම් මත් පෙති 250ක ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් වූ අතර, ඒ අනුව අදාල පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

තවත් සෝදිසි මෙහෙයුමක් පුල්මුඩේ විශේෂ කාර්ය බලකාය සමඟ එක්ව වැලිඔය ප්‍රදේශයේ සිදු කල අතර, එහිදී සැක සහිත පුද්ගලයෙකු නිරීක්‍ෂණය කර පරීක්‍ෂා කිරීමේදී ඔහු සතුව තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 103ක ප්‍රමාණයක් සහ තහනම් මත් පෙති 05ක් සොයා ගැනීමට සමත් විය. ඒ අනුව අදාල පුද්ගලයාද අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස අත් අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් වයස අවුරුදු 19ත් 38ත් අතර වයසේ පසුවන ත්‍රීකුණාමලය ආනන්දපුරි සහ වැලිඔය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හදුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගන්නා ලද එම පුද්ගලයන්, තහනම් මත්පෙති සහ හෙරෙයින් මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා උප්පුවේලි සහ වැලිඔය පොලිස් ස්ථාන වෙත භාරදීමට කටයුතු කරන ලදි.