‘සමුදුර’ නෞකාව වෙතින් ආපදාවට පත් ධීවර යාත්‍රාවන් වෙත අවශ්‍ය ඉන්ධන ලබා දෙයි

‘අම්ෆන්’ සුලි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට ගසා ගෙන ගිය මෙරට බහුදින ධීවර යාත්‍රාවන් ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාවේ සහයෙන් ගොඩබිම වෙත ළගාවෙමින් පවතින අතර, එම යාත්‍රා සඳහා අවශ්‍ය ඉන්ධන ලබා දීමට අද (2020 මැයි 23) සමුදුර නෞකාව කටයුතු කරන ලදි.

‘අම්ෆන්’ සුලි කුණාටුවේ බලපෑමෙන් ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට ගසා ගෙන ගිය ශ්‍රී ලංකාවට අයත් බහුදින ධීවර යාත්‍රාවන් වෙත අවශ්‍ය සහාය ලබාදීම සඳහා පිටත්වගොස් සිටින නාවික හමුදාවට අයත් සමුදුර නෞකාව මේ වන විට එම බහුදින යාත්‍රාවන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙමින් එම ධීවර යාත්‍රා සමඟ ගොඩබිම වෙත යාත්‍රා කරමින් සිටී. එලෙස පැමි‍ණෙන ධීවර යාත්‍රාවන්හි ඉන්ධන අවසන් වීම හේතුවෙන් ගොඩබිම සිට මුහුදු සැතපුම් 450ක පමණ දුරකදී අදාල යාත්‍රාවන් වෙත ගොඩබිම කරා යාත්‍රා කිරීමට අවශ්‍ය ඉන්ධන ලබාදීමට සමුදුර නෞකාව අද (2020 මැයි මස 23) කටයුතු කරන ලදි. ඒ අනුව සදෙව්මි 04, සානු පුතා 01, මදුසංක 01, සයුරි 06. රන්පුතා 09 සහ සප්නා 08 යන මෙරට බහුධින ධීවර යාත්‍රාවන් වෙත මෙසේ ඉන්ධන ලබාදීම සිදු කරන ලදි.

මෙලෙස බහුදින යාත්‍රාවන් 30කට වැඩි ප්‍රමාණයක් වෙත අවශ්‍ය පහසුකම් සමුදුර නෞකාව වෙතින් ලබා දෙමින් ගොඩබිම වෙත යාත්‍රා කරමින් සිටින අතර, ගොඩබිම වෙත පැමිණෙනතෙක් එම යාත්‍රාවන් වෙත අවශ්‍ය සියළු සහයෝගයන් ලබා දෙමින් එම යාත්‍රා සහ ධීවරයින් නිරුපද්‍රිතව ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.