අම්බලන්ගොඩ මහ වීදියේ වෙළඳ සංකීර්ණයක ඇති වූ හදිසි ගින්නක් නිවා දැමීමට නාවික හමුදා සහාය

අම්බලන්ගොඩ මහ වීදියේ වෙළඳ සංකීර්ණයක ඇති වූ හදිසි ගින්නක් මැඩපැවැත්වීමට නාවික හමුදාව හා ගාල්ල ගිණිනිවීමේ ඒකකය එක්ව අද (2020 මැයි මස 26) කටයුතු කරන ලදි.

අම්බලන්ගොඩ මහ වී‍දියේ වෙළඳ සංකීරණයේ ගින්නක් හටගෙන ඇති බවට දකුණු නාවික විධානයේ මෙහෙයුම් මැදිරියට ලද තොරතුරකට අනුව නාවික හමුදා ගිනි නිවීමේ කණ්ඩායමක් කඩිනමින් එම ස්ථානය වෙත යැවීමට කටයුතු කරන ලදී. ඒ සඳහා දකුණු නාවික විධාන ගිනි නිවීමේ ඒකකය මගින් නාවික හමුදා ගිනි නිවන රථ සහ ජල බවුසර් සමඟ නාවික පුද්ගලයින් පිරිසක් අනුයුක්ත කරන ලද අතර, එම පිරිස විසින් මහත් පරිශ්‍රමයක් යොදා එම ගින්න වෙළෙඳ සංකීර්ණය පුරා ව්‍යාප්ත වීමට ඉඩ නොදී සම්පූර්ණයෙන් මැඩ පැවැත්වීමට කටයුතු කරන ලදි. මේ සඳහා අම්බලන්ගොඩ නගර සභාව, පොලිසිය සහ ප්‍රදේශවාසින්ද සිය සහයෝගය ලබාදීමට කටයුතු කරන ලදි.

තවද ගින්නෙන් අවන්හලක්, විදුලි උපකරණ අලෙවි සැලක් සහ රෙදිපිළි අලෙවි සැලක් සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අම්බලන්ගොඩ පොලීසිය මගින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.තවද, රට තුල ඇතිවන හදිසි තත්වයකදී පෙරමුණ ගෙන කටයුතු කරන ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව, ඉදිරියේදී ද මහජනතාව හට සිදුවන ඕනෑම ව්‍යසනයකදී උපකාර කිරීමට සුදානමින් සිටි.