මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා නීති විරෝධී දැල් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 මැයි මස 26 සහ 27 වන දිනයන්හි ත්‍රිකුණාමලය කෝවිල්කොඩිඉරුප්පු සහ කදිරවේලි පලච්චේනේ වෙරළ තීරයන්හි සිදු කරන ලද සෝදිසි මෙහෙයුම් දෙකකදී එම වෙරළ තීරයන්හි සඟවා තිබූ නීති විරෝධී දැල් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

තහනම් ධීවර ක්‍රම භාවිතා කරමින් සිදුකරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් දියත් කරමින් සිටිනු ලබන අතර, ඒ අනුව නැගෙනහිර නාවික විධානයේ නාවිකයින් පිරිසක් විසින් ත්‍රිකුණාමලය කෝවිල්කොඩිඉරුප්පු සහ කදිරවේලි පලච්චේනේ වෙරළ තීරයන්හි සිදු කරන ලද මුර සංචාරයක් අතරතුරදී ‍තහනම් ධීවර කටයුතු වල නිරත වන පුද්ගලයින් විසින් එම වෙරළ තීරයන්හි සඟවා තිබූ මීටර 140ක පමණ දිගින් යුත් තහනම් දැල් දෙකක් (02) නාවික හමුදා භාරයට ගන්නා ලදි. මෙහිදී කදිරවේලි පලච්චේනේ වෙරළ තීරයේ සිදු කල සෝදිසි මෙහෙයුම සඳහා මඩකලපුව සහකාර ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලයේ නිලධාරීන්ගේද සහයෝගය නාවික හමුදාව වෙත ලබා දෙන ලදි.

මෙලෙස, නාවික හමුදා භාරයට ගන්නා ලද තහනම් දැල් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මඩකලපුව සහකාර ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදි