‘අම්ෆන්’ සුලි කුණාටුවේ බලපෑමෙන් ගසාගෙන ගිය බහුදින යාත්‍රාවන් නිරුපද්‍රිතව ගොඩබිම ආසන්නයට රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරයි.

‘අම්ෆන්’ සුලි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට ගසා ගෙන ගිය මෙරට බහුදින ධීවර යාත්‍රාවන් ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාවේ සහයෙන් නිරුපද්‍රිතව ගොඩබිම ආසන්න මුහුදු තීරය වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදි.

ශ්‍රී ලංකාවේ සිට නැගෙනහිර දෙසින්වූ මුහුදේ අන්දමන් දූපත් ප්‍රදේශය ආශ්‍රිතව වායු ගෝලයේ ඇති වූ කැළඹීමත් සමඟ 2020 මැයි මස 13 වන දින වන විට ශ්‍රී ලංකාවේ සිට කිලෝමීටර 1000ක පමණ දුරින් එය බෙංගාල බොක්ක ගිණිකොණ ප්‍රදේශයේ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය. ඒ අනුව එය 2020 මැයි මස 16 දින වන විට සුලි කුණාටුවක් දක්වා වර්ධනය වී ප්‍රචණ්ඩ සුලි කුණාටුවක් දක්වා වර්ධනය වන බවට ලක්‍ෂණ පෙන්නුම් කරන ලදි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන් ධීවර ප්‍රජාව දැනුවත් කිරීමට කටයුතු කරන ලදි. නමුත් ඒ මොහොත වන විටත් ශ්‍රී ලාංකීය බහුදින ධීවර යාත්‍රා 50කට අධික ප්‍රමාණයක් අන්තර්ජාතික මුහුදු සීමාවේ මුහුදු සැතපුම් 400ත් 500ත් අතර දුරකින් ධීවර කර්මාන්තයේ යෙදෙමින් සිටි බැවින් සුළි කුණාටුවේ බලපෑම නිසා මෙම යාත්‍රා සමහරක් ඉන්දුනීසියාව දෙසට ගසා ගෙන යන ලදී

ශ්‍රී ලංකා නාවික හමුදාව යටතේ ක්‍රියාත්මක වන සමුද්‍රිය සෙවීම් හා මුදවාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (Maritime Rescue Coordination Center – MRCC) මගින් මේ සම්බන්ධයෙන් ඉන්දුනීසියානු සමුද්‍රිය සෙවීම් හා මුදවාගැනීමේ සම්බන්ධතා මධ්‍යස්ථානය දැනුවත් කිරීමෙන් පසුව එම යාත්‍රා සඳහා බාධාවකින් තොරව ඉන්දුනීසියානු අනන්‍ය ආරක්ෂිත මුහුදු කලාපයේ රැඳී සිටීමට අවසර ලබාදෙන ලදී.

මෙම යාත්‍රා වලින් යාත්‍රාවන් 36ක් සඳහා නැවත ගොඩබිමට පැමිණීමට අවශ්‍ය ඉන්ධන, ආහාර සහ ජලය නොමැති වීමත් යාත්‍රා කිහිපයක යාන්ත්‍රික දෝෂ හටගෙන ඇති බවටත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදාව වෙත දැනුවත් කිරීමක් සිදු කරන ලදී

මෙම තත්වය හමුවේ එම බහුදින ධීවර යාත්‍රාවන් හට අවශ්‍ය සහාය ලබාදීම සඳහා නාවික හමුදාව සතු අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව 2020 මැයි මස 21 වන දින පිටත් කරවීමට නාවික හමුදාව කටයුතු කරන ලදී. එම නෞකාව විසින් ආපදාවන්ට පත් සියලුම යාත්‍රා සමඟ පණිවිඩ හුවමාරු ගොඩනඟා ගැනීමෙන් පසු සියලුම යාත්‍රාවන්ට ශ්‍රී ලංකාව දෙසට යාත්‍රා කිරීමට උපදෙස් ලබා දෙන ලදී

ඒ අනුව, 2020 මැයි මස 23 වන දින ශ්‍රී ලංකාවට මුහුදු සැතපුම් 550ක් දුරකදී සුලි කුණාටුව හේතුවෙන් ගසාගෙන ගිය බහුදින යාත්‍රා සමූහය නිරීක්ෂණය කිරීමට සමුදුර නෞකාව සමත් වූ අතර, එදින සිට දින දෙකක් පුරාවට එම ධීවර යාත්‍රාවන්ට අවශ්‍ය අළුත්වැඩියා සහාය, ආහාර, ඉන්ධන, ජලය සහ වෛද්‍යධාර ලබා දීමට සමුදුර නෞකාව කටයුතු කරන ලදි.

මෙලෙස නාවික හමුදා සමුදුර නෞකාව මගින් සහාය ලබා දෙන ලද බහුදින යාත්‍රා 2020 අප්‍රේල් මස 18 වන දින සිට 2020 මැයි මස 05 වන දින අතර කාලසීමාවේදී කුඩාවැල්ල, අම්බලන්ගොඩ සහ ගාල්ල යන ධීවර වරායන් වෙතින් ධීවර කටයුතු සඳහා පිටත්වගොස් තිබූ අතර, එම සියළුම යාත්‍රාවන් සහ එම යාත්‍රාවන්හි ධීවරයින් සියළුදෙනා නිරුපද්‍රිතව ගොඩබිමට ආසන්න මුහුදු තීරය වෙත ගෙන ඒමට කටයුතු කරන ලදි.

මෙම මෙහෙයුම සඳහා දායකත්වය ලබාදුන් නාවික හමුදා සමුදුර නෞකාව යුද සමයේදී ත්‍රස්තවාදීන්ගේ පාවෙන අවි ගබඩා විනාශ කිරීම ඇතුළු සාර්ථක යුද මෙහෙයුම් රැසකට දායකත්වය ලබා දුන් අතර, පසුගිය කාලසීමාව තුලදී නාවික හමුදාව මගින් ගැඹුරු මුහුදේ දී අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය වැටලීම් රැසකටද දායකත්වය ලබා දෙන ලදී.