නාවික හමුදාව විසින් මුහුදු මහා විහාරයේ ස්ථාපිත කරන ලද ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් පරිදි පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ‍‍ඓතිහාසික පොතුවිල් මුහුදු මහා විහාරයේ ස්ථාපිත කරන ලද ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය 2020 මැයි 28 වන දින ගිණිකොන නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් සෙනරත් විජේසූරිය විසින් විවෘත කරන ලදි.

ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලිම සඳහා සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ මූලිකත්වයෙන් සහ නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් මහජනතාව වෙත සෞඛ්‍යාරක්‍ෂිත පානීය ජලය ලබා දීමේ අරමුණින් පොතුවිල් මුහුදු මහා විහාර පරිශ්‍රයේ මෙම ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානය ස්ථාපිත කරන ලදි. මෙම අවස්ථාවට මුහුදු මහා විහාරාධිපති හිමියන් ඇතුළු මහාසංඝයාවහන්සේලා පිරිසක්, පොතුවිල් ප්‍රදේශීය ලේකම්, ගිණිකොන නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති ඇතුළු නාවික හමුදා නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් සහභාගීවී සිටින ලදි ගරුතර මහ සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ විවෘත කරන ලද මෙම ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානය මගින් ප්‍රදේශ වාසී ජනතාව වෙත මෙන්ම විහාරය වැඳපුදා ගැනීම සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පානීය ජල අවශ්‍යතාවයද සපුරා ගැනීමට හැකියාව ඇත.

තවද, මාරාන්තික වකුගඩු රෝගයෙන් පීඩාවට පත්වී සිටින ප්‍රදේශයේ ජනතාවට මෙම ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානය මගින් තම දෛනික පානිය ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට හැකිවන අතර, මරාන්තික වකුගඩු රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ ජාතික කර්තව්‍යයේ කොටස්කරුවෙකු වන නාවික හමුදාව, ඉදිරියටත් මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කර ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට කටයුතු කරමින් සිටී.