විදේශීය නෞකා කාර්ය මණ්ඩලය හුවමාරු කිරීමට නාවික හමුදාවේ සහය.

විශේෂ ගුවන් යානයකින් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි විදේශ ජාතිකයින් පිරිසක් මත්තල සිට රැගෙනවිත් ගාල්ල වරායෙන් ආරක්ෂිතව සිය නෞකාවන් වෙත පිටත් කර යැවීමටත් එම නෞකාවන්හි සිටි විදේශ ජාතිකයින් පිරිසක් තම මව් රට බලා පිටත් කර යැවීම සඳහා මත්තල ගුවන්තොටුපල වෙත රැගෙන යාමට ආරක්‍ෂිත ප්‍රවාහන පහසුකම් ලබාදීමටත් 2020 මැයි මස 28 වන දින නාවික හමුදාව කටයුතු කරන ලදි.

මත්තල ගුවන් තොටුපලින් මෙරටට පැමිණී ගාල්ල වරාය ආසන්නයේ ඇති විදේශ නෞකා තුනකට අයත් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 41 දෙනෙකු‍ගෙන් යුත් මෙම විශේෂ කණ්ඩායම සිය නෞකා වෙත පිටත්කර යැවීමට පෙර නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්වීම පිළිබඳ ඒකකය විසින් විෂබීජහරණය කිරීමට කටයුතු කල අතර තවද, එම නෞකා වල සිටි විදේශිකයන් 35 දෙනෙකු නැවත ඔවුන්ගේ මව් රටවල් බලා ගමන් කිරිම සඳහා ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ගමන් කිරීම සඳහා ආරක්‍ෂිත ප්‍රවාහන පහසුකම් සපයා දීමටත් නාවික හමුදාව කටයුතු කරන ලදි.

මෙහිදී කොරෝනා වෛරසය ලොව පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක වෛරසය පාලනයට මෙරට තුල ගෙන ඇති වැඩපිළිවෙල එම විදේශිකයන් විසින් අගය කර සිටි අතර, ඔවුන් වෙත නාවික හමුදාව විසින් ලබා දෙන ලද මෙම සහයෝගය සම්බන්ධයෙන්ද ඔවුන් විසින් සිය ස්තූතිය පල කර සිටින ලදි.