ආපදාවට පත් ධීවර යාත්‍රාවකට ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහය.

ගාල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් කාර්මික දෝශයකට ලක්වූ ‘දෝනි’ නැමති බහුදින ධීවර යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් 07 දෙනෙකු නිරුපද්‍රිතව ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව අද (2020 මැයි මස 29) කටයුතු කරන ලදි.

මෙම බහුදින ධීවර යාත්‍රාව කාර්මික දෝශයකට ලක්වීම හේතුවෙන් පාලනයෙන් ගිලිහී ඇති අතර ඒ සම්බන්ධයෙන් නාවික හමුදාව වෙත සිදු කරන ලද දැනුම් දීමකට අනුව වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව දකුණු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවන් සහ වෙරළබඩ මුර යාත්‍රාවන් අදාල බහුදින ධීවර යාත්‍රාව රැගෙන ඒම සදහා පිටත් කර යවන ලදි. ඒ අනුව මේ දිනවල මුහුදේ පවතින රළු ස්වාභාවයද නොතකමින් මහත් පරිශ්‍රමයක් යොදා ගොඩබිම සිට මුහුදු සැතපුම් 07ක පමණ දුරකිත් තිබූ අදාල බහුදින ධීවර යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් 07 දෙනෙකු නිරුපද්‍රිතව ගාල්ල වරාය වෙත රැගෙන ඒමට කටයුතු කරන ලද අතර, මෙම ‍සාර්ථක මෙහෙයුම දකුණු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කස්සප පොල් ගේ අධීක්‍ෂණය යටතේ සිදු කරන ලදි.

තවද, නාවික හමුදාව විසින් මෙලෙස මෙරට මුහුදු සීමාව තුළ ධීවර යාත්‍රාවක් අනතුරකට හෝ ආපදාවකට ලක්වු අවස්ථාවලදී ඔවුන් බේරා ගැනීමට හා අවශ්‍ය සහන සැලසීමට නිරතුරුවම කටයුතු කරනු ලබයි.