වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් නාවික හමුදා දායකත්වය

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2020 මැයි මස 30 වන දින දකුණු නාවික විධානය කේන්ද්‍ර කරගනිමින් සිදුකරන ලදී.

කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ වුවද අපවිත්‍ර වන වෙරළ තීරයන් පවිත්‍රව පවත්වාගෙන යාමට සක්‍රිය දායකත්වය අඛණ්ඩව ලබාදීමට නාවික හමුදාව කටයුතු කරන අතර, සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නිකුත් කර ඇති උපදෙස් වලට අනුකූලව සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මෙම වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහන සිදුකරන ලදි. මෙහිදී, ගාල්ල සමුද්‍ර වෙරළ තීරය, ගිංතොට පාලම අසල වෙරළ තීරය, තංගල්ල පරවි වැල්ල වෙරළ තීරය සහ හම්බන්තොට නාවික කදවුරු පරිශ්‍රය ආශ්‍රිත වෙරළ තීරයන් පිරිසිදු කිරීම සිදු කරන ලද අතර, දකුණු නාවික විධාන භාර ආඥාපති රියර් අද්මිරාල් කස්සප පෝල්ගේ උපදෙස් මත ක්‍රියාත්මක මෙම වැඩසටහන සඳහා දකුණු නාවික විධානයට අයත් ආයතනයන්හි නිලධාරීන් හා නාවිකයින් පිරිසක් සහභාගී වී සිටින ලදි.

නොසැලකිලිමත් ලෙස අපද්‍රව්‍ය මුහුදට මුදා හරින සීමිත පිරිසකගේ ක්‍රියාවන් හේතුවෙන් අපවිත්‍ර වන සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් නාවික හමුදාව විසින් මෙවැනි පරිසර හිතකාමී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති අතර, පිරිසිදු වෙරළ තීරයක් පවත්වා ගැනීම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් කැපවී කටයුතු කරනු ලබයි.