නීති විරෝධී ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 13 දෙනෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුනි මස 01 වන දින සහ 02 වන දින ත්‍රිකුණාමලය වලයිතෝට්ටම් සහ කුඹුරුපිඩ්ඩි ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හි සිදු කරන ලද මුර සංචාරයන් අතරතුරදී නීති විරෝධී ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් 13 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

තහනම් ධීවර ක්‍රම භාවිතා කරමින් සිදුකරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නිරන්තර සෝදිසි මෙහෙයුම් දියත් කරමින් සිටින නාවික හමුදාව 2020 ජුනි මස 02 වන දින ත්‍රිකුණාමලය, වලයිතෝට්ටම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුරදී සැක සහිත ඩිංගි යාත්‍රාවන් දෙකක් (02) පරීක්‍ෂාවට ලක් කිරීමේදී එම යාත්‍රාවන්හි නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 09 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලද අතර, එහිදි ඔවුන් විසින් අල්ලන ලද මසුන් කිලෝ 10ක පමණ ප්‍රමාණයක්, ඩිංගි යාත්‍රා දෙකක් (02) සහ ඔවුන් සතුව තිබු අනෙකුත් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගන්නා ලදි.

කුඹුරුපිඩ්ඩි ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2020 ජුනි මස 01 වන දින සිදු කල තවත් සෝදිසි මෙහෙයුමකදී සැක කටයුතු යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක් කර ඇති අතර, එහිදී කිමිදුම් උපකරණ යොදා ගනිමින් නීති විරෝධී ලෙස මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු (04) ඔවුන් විසින් අල්ලන ලද මසුන් කිලෝ 18ක ප්‍රමාණයක්, මුහුදු කූඩැල්ලන් කිලෝ 1 ½ ක පමණ ප්‍රමාණයක් සමඟ නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය. එහිදී අදාල ධීවර යාත්‍රාව සහ ඔවුන් සතුව තිබූ කිමිදුම් උපකරණ ඇතුළු අනෙකුත් ධීවර ආම්පන්නද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

නැගෙනහිර නාවික විධානයේ නාවික පුද්ගලයින් විසින් සිදු කරන ලද මෙම මුරසංචාර මගින් මෙලෙස, නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් ත්‍රිකුණාමලය, එරක්කන්ඩි සහ මාවඩිවේන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට තහවුරු කරගෙන ඇති අතර, අදාල පුද්ගලයන්, ඩිංගි යාත්‍රා, ඔවුන් විසින් අල්ලන ලද මසුන්, මුහුදු කූඩැල්ලන් සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය සහකාර ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලය සහ කුච්චවේලි ධීවර පරීක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදි