ශ්‍රී ලංකාවේ ඉන්දියානු ආරක්ෂක උපදේශක විසින් නාවික හමුදාව වෙත වෛද්‍ය උපකරණ පරිත්‍යාග කෙරේ.

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් අශෝක් රාඕ මහතා විසින් නාවික හමුදාව කොරෝනා වෛරසය මැඩලීම සඳහා ගෙනයනු ලබන වැඩසටහන් සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ පරීත්‍යාග කිරීම අද (2020 ජුනි 03) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කරන ලදි.

නාවික හමුදා මූලස්ථානය වෙත පැමිණි ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් අශෝක් රාඕ මහතා විසින් මෙම වෛද්‍ය උපකරණ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා වෙත ලබාදීම සිදු කරන ලදි. මෙහිදී උණ පරීක්‍ෂා කිරීමේ උපකරණ (Temperature Gun) සහ වෛරසය ආසාධිත රෝගියෙකු ආරක්‍ෂිතව රැගෙන යා හැකි Air Evacuation Pod (AEP) උපකරණ නාවික හමුදාව වෙත ලබාදීම සිදු කරන ලදි.

මෙහිදී නාවික හමුදාධිපති තුමන් විසින් මෙම පරිත්‍යාගය නාවික හමුදාව වෙත ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකතුමන් වෙත සිය කෘතවේදීත්වය පලකර සිටින ලදි.