නාවික හමුදා පූර්ණ තාක්‍ෂණ සහ ශ්‍රම දායකත්වයෙන් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ පරිඝණකගත පරිලෝකන විකිරණ අංශය සඳහා ගොඩනැගිල්ලක් ඉදිකෙරේ

නාවික හමුදා පූර්ණ තාක්‍ෂණ සහ ශ්‍රම දායකත්වයෙන් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ පරිඝණකගත පරිලෝකන විකිරණ අංශය සඳහා ඉදිකරන ලද දෙමහල් ගොඩනැගිල්ල (CT Scanner Unit) එම රෝහල වෙත නිල වශයෙන් ලබා දීම 2020 ජුනි මස 04 වන දින සිදු කරන ලදි.

නාවික හමුදාව විසින් කොරෝනා වෛරසය රටතුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා මේ වනවිට වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇති අතර, මෙම වෛරසය ආසාධිත රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර ලබා දෙමින් සහ ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙමින් තම ජීවිත අවධානමද නොතකා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරන වෛද්‍ය සහ රෝහල් කාර්ය මණ්ඩලයන් සඳහාද අවශ්‍ය පහසුකම් ලබා දීමට නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ සෘජු අධීක්‍ෂණය යටතේ මේ වන විට බොහෝ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටී.

ඒ අනුව කොරෝනා ආසාධිත රෝගීන් වෙනුවෙන් ප්‍රථිකාර ලබා දෙමින් සුවිශාල කාර්යභාරයක් සිදු කරනු ලබන අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත දැඩි අවශ්‍යතාවයක්ව පැවති පරිඝණකගත පරිලෝකන විකිරණ යන්ත්‍රයක් (CT Scanner) ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගන්නා ලද තීරණයකට අනුව එම පරිඝණකගත පරිලෝකන විකිරණ අංශය සඳහා දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට පූර්ණ තාක්‍ෂණ සහ ශ්‍රම දායකත්වය ලබා දීම සඳහා නාවික හමුදාව කටයුතු කරන ලදි. ඒ අනුව 2020 අප්‍රේල් මස 10 වන දින මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලද අතර, දින 50ක් වැනි ඉතා කොටි කාලයක් තුල එම ඉදිකිරීම් කටයුතු අවසන් කර 2020 මැයි මස 29 වන දින එම ගොඩනැගිල්ලේ වෛද්‍ය උපකරණ ස්ථාපිත කිරීම සඳහා රෝහල් කාර්ය මණ්ඩලය වෙත ලබා දීමට නාවික හමුදාවට හැකි විය.

එලෙස ඉදිකිරීම් කටයුතු අවසන් කරන ලද ගොඩනැගිල්ලේහි පරිඝණකගත පරිලෝකන විකිරණ යන්ත්‍රය ස්ථාපිත කිරීමෙන් අනතුරුව එම පරිඝණකගත පරිලෝකන විකිරණ අංශය නිල වශයෙන් රෝහල වෙත ලබා දීම 2020 ජුනි 04 වන දින ගරු කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ හා සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා ඇමතිණී පවිත්‍රා වන්නිආරච්චි මැතිණිය, සෞඛ්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි. මෙම අවස්ථාව සඳහා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සහ නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටින ලදි.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ සෞඛ්‍ය ඇමතිණිය කොරෝනා වෛරසය රට තුල පැතිරී යාම පාලනය සඳහා ත්‍රිවිධ හමුදාව විසින් ලබා දෙනු ලැබූ දායකත්වය අගය කරමින් සිය ගෞරවය පුද කර සිටි අතර, නාවික හමුදාව සිදු කරන ලද මෙම සමාජ සත්කාරය එම අවස්ථාවට පැමිණ සිටි සියළුම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයන්ගේ ඇගයීමට ද ලක්විය.