රුපියල් ලක්‍ෂ 11කට අධික වටිනාකමකින් යුත් රත්‍රන් ප්‍රමාණයක් සමඟ සැකකරුවකු (01) නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට.

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම පොලිස් අපරාධ අංශයේ සහයෝගය ඇතිව 2020 ජුනි මස 07 වන දින මන්නාරම නගරයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී රත්‍රන් ග්‍රෑම් 109කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

නාවික හමුදාවට ලැබුනු තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් මන්නාරම පොලිස් අපරාධ අංශයේ සහයෝගය ඇතිව 2020 ජුනි මස 07 වන දින මන්නාරම නගරයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කිරීමට කටයුතු කරන ලදි. එහිදී මන්නාරම ප්‍රධාන බස්නැවතුමෙහි සිටි සැක සහිත පුද්ගලයෙකු පරීක්‍ෂාවට ලක් කිරීමේදී ඔහු සතුව තිබී රත්‍රන් ග්‍රෑම් 109කට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවිය. එම රත්‍රන් ප්‍රමාණය බලපත්‍ර රහිතව ප්‍රවාහනය කිරීම හේතුවෙන් අදාල පුද්ගලයා සහ රත්‍රන් ප්‍රමාණය අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස සොයා ගන්නා ලද රත්‍රන් ප්‍රමාණයේ වටිනාකම රුපියල් ලක්‍ෂ 11කට අධික වෙතැයි ගණන් බලා ඇති අතර, අත් අඩංගුවට ගන්නා ලද වයස අවුරුදු 37ක් වන මන්නාරම, තාරාපුරම් ප්‍රදේශයේ පදිංචි එම සැකකරු සහ රත්‍රන් ප්‍රමාණය ඉදිරි විමර්ශන කටයුතු සඳහා මන්නාරම පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.