මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 ජුනි 08 වන දින පුල්මුඩේ, ඡින්නපුරම් ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයකදී මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගන්නා ලදි.

පුපුරණ ද්‍රව්‍ය යොදා නීති වි‍රෝධී ලෙස මසුන් ඇල්ලීම මගින් මත්ස්‍ය සම්පත මෙන්ම සාගර සම්පතද විනාශ වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් නිරන්තර මෙහෙයුම් දියත් කරනු ලබන අතර, ඒ අනුව නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් 2020 ජුනි 08 වන දින පුල්මුඩේ, ඡින්නපුරම් වෙරළ තිරයේ සිදු කරන ලද මුර සංචාරයකදී ‍ගොඩබිම වෙත පැමිණෙමින් තිබු සැක සහිත ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර එය ගොඩබිමට පැමිණිමෙන් අනතුරුව පරීක්‍ෂාවට ලක්කිරීමේදී අදාල යාත්‍රාවේ තිබි මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා වැලි සමග මිශ්‍ර කරණ ලද හදුනා නොගත් පුපුරණ ද්‍රව්‍ය ග්‍රැම් 69ක ප්‍රමාණයක්, විදුලි නොවන ඩෙටනේටර් 03ක් සහ අගල් 04ක දිගින් යුත් සේවා නූල් 03ක් සොයා ගැණීමට සමත් විය. පසුව අදාල පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණය, ඩිංගි යාත්‍රාව සහ එහි සිටි පුද්ගලයෙකු ඇතුළුව යාත්‍රාවේ තිබු අනෙකුත් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද පුද්ගලයා වයස අවුරුදු 41ක් වන මූතූර් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට හදුනාගෙන ඇති අතර, අදාල සැකකරු, පුපුරණ දුව්‍ය, ඩිංගි යාත්‍රාව සහ යාත්‍රාවේ තිබු අනෙකුත් ඩීවර ආම්පන්න ඉදිරි විමර්ශණ කටයුතු සඳහා පුල්මුඩේ පොලීසිය වෙත භාරදීමට කටයුතු කරන ලදි.