නීති විරෝධි ලෙස සුදු හදුන් දැව තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් සිව් දෙනෙකු (04) නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ හම්බන්තොට පොලිස් දූෂණ මර්ධන ඒකකය එක්ව 2020 ජුනි 11 වන දින හම්බන්තොට ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී නිතී විරෝධි ලෙස ප්‍රවාහනය කරමින් තිබූ සුදු හඳුන් දැව කිලෝගෑම් 158ක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු (04) අත්අඩංගුවට ගැනීමට සමත් විය.

නීති විරෝධී කටයුතු මර්ධනය කිරීම සඳහා නිරන්තර දායකත්වය ලබා දෙමින් සිටින නාවික හමුදාව 2020 ජුනි මස 11 වන දින දකුණු නාවික විධානයට අයත් නාවික පුදගලයින් පිරිසක් හා හම්බන්තොට දූෂණ විමර්ෂණ ඒකකය එක්ව හම්බන්තොට ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කරන ලදි. එහිදී සැක සහිත කුඩා ලොරි රථයක් සහ කුඩා වෑන් රථයක් පරීක්‍ෂාවට ලක් කිරීමේදී අදාල රථ තුල නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ සුදු හඳුන් දැව කිලෝගෑම් 158 ක් සොයා ගැනීමට සමත් විය. ඒ අනුව අදාල සුදු හදුන් තොගය, ලොරි රථය සහ වෑන් රථය සමඟ එම රථ තුල ගමන්ගත් පුද්ගලයින් සිව් දෙනෙකු (04) අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස අත් අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් අවුරුදු 24 ත් 42ත් අතර වයස්වල පසුවන වැලිමඩ, බෝගහකුඹුර සහ අම්බලන්තොට ප්‍රදේශයන්හි පදිංචි කරුවන් බව හදුනාගෙන ඇති අතර, අදාල සැකකරුවන්, සුදු හදුන් තොගය සහ සුදු හදුන් ප්‍රවාහනයට යොදා ගන්නා ලද කුඩා ලොරි රථය සහ වෑන් රථය ඉදිරි විමර්ශන කටයුතු සඳහා හම්බන්තොට පොලීසිය වෙත භාරදීමට කටයුතු කරන ලදි.