මුහුදු මාර්ගයෙන් ගොඩබිමට ගෙන ඒමට උත්සාහ කල කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව ‍විසින් අද (2020 ජුනි 12) අළුයම යාපනය, කුසුමන්තුරේ වෙරළතීරයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ගොඩබිමට ගෙන ඒමට උත්සාහ කල කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

මුහුදු මාර්ග ඔස්සේ දිවයිනට රැගෙන ඒමට උත්සාහ කරන මත්ද්‍රව්‍ය ජාවාරම් මර්ධනය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් දියත් කරමින් සිටී. එලෙස ක්‍රියාත්මක කරන ලද තවත් එක් මෙහෙයුමක් අද (2020 ජුනි 12) උතුරු නාවික විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් විසින් යාපනය, කුසුමන්තුරේ වෙරළතීරය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කරන ලදි. එහිදී ගොඩබිම දෙසට පැමිණි ඩිංගි යාත්‍රාවක පිරිසක් ගෝනි තුල බහාලන ලද කිසියම් ද්‍රව්‍යයක් ගොඩබිමට රැගෙන එන ආකාරය නිරීක්‍ෂණය කරන ලදි. පසුව අදාල ස්ථානය වෙත මුර සංචාරයේ නිරත නාවික හමුදා සාමාජිකයින් ගමන් කරනවාත් සමඟ ගෝනි කිහිපයක් පමණක් වෙරළ තීරය තුල දමා ඩිංගි යාත්‍රාවේ සිටි පිරිස නැවත මුහුදට යාත්‍රා කිරීමට කටයුතු කරන ලදි. පසුව ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂා කිරීමේදී එම ගෝනි තුල තිබී පාර්සල් 25ක් වශයෙන් අසුරණ ලද කේරළ ගංජා කිලෝ 57කට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් වූ අතර, අදාල කේරළ ගංජා තොගය නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.‍‍

නාවික හමුදාව පාලාගිය ඩිංගි යාත්‍රාව සහ එහි සිටි සැකකරුවන් සොයා මේ වන විටත් එම මුහුදු ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් දියත් කරමින් සිටී.