නාවික හමුදාව විසින් මුහුදු මහා විහාරයේ රුක්රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 ජුනි මස 11 වන දින පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ‍‍ඓතිහාසික පොතුවිල් මුහුදු මහා විහාර භූමියෙහි රුක්රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

ඓතිහාසික පොතුවිල් මුහුදු මහා විහාරය සහ එම භූමිය ආරක්‍ෂා කිරීම සඳහා ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්නගේ නියෝගයක් මත නාවික හමුදා අනුඛණ්ඩයක් ස්ථාපිත කිරීමට පසුගිය දිනෙක කටයුතු කරන ලද අතර, එලෙස ස්ථාපිත නාවික අණුඛණ්ඩයේ නාවික පුද්ගලයින්ගේ දායකත්වයෙන් මෙම රුක් රෝපණ වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක නීල හරිත පාරිසරික සංග්‍රාමයේ තවත් එක් වැඩසටහනක් වශයෙන් ක්‍රියාත්මක කරන ලද මෙම රුක් රෝපණ වැඩසටහන සඳහා ගිණිකොන නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් සෙනරත් විජේසූරිය සහ එම නාවික විධානයේ නිලධාරීන් මෙන්ම නාවිකයින් පිරිසක් සහභාගී වන ලදි.

නාවික හමුදාවේ ශ්‍රම දායකත්වය යටතේ මේ වන විට මුහුදු මහා විහාරයේ ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානයක්ද ස්ථාපිත කරන ලද අතර, ඉදිරියේදීද නාවික හමුදාව විසින් තවත් මෙවැනි සමාජ සුභසාධක වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටී.