නීති විරෝධී දැල් භාවිත කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුනි මස 12 වන දින මූතූර්, උප්පුරල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

තහනම් ධීවර ක්‍රම භාවිතා කරමින් සිදුකරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් දියත් කරමින් සිටිනු ලබන අතර, ඒ අනුව නැගෙනහිර නාවික විධානයේ නාවිකයින් පිරිසක් විසින් මූතූර්, උප්පුරල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුරදී සැක සහිත ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක් කිරීමේදී නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු (03) අදාල දැල (01), ඩිංගි යාත්‍රාව (01) සහ එම යාත්‍රාව සඳහා යොදා ගත් පිටත දහන යන්ත්‍රය (01) සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස, නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 30 ත් 42 ත් අතර වයසේ පසුවන ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට තහවුරු කරගෙන ඇති අතර, එම පුද්ගලයින්, ඩිංගි යාත්‍රාව, පිටත දහන යන්ත්‍රය සහ තහනම් දැල ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය සහකාර ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදි.