නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් 07ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුනි 11 වන දින යාපනය, කයිට්ස්, චිට්ටික්කාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී ධීවර බලපත්‍ර නොමැතිව සහ නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් හත්දෙනෙක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

තහනම් ධීවර ක්‍රම භාවිතා කරමින් සිදුකරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තරව කටයුතු කරනු ලබන අතර, ඒ අනුව උතුරු නාවික විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් විසින් යාපනය, කයිට්ස්, චිට්ටික්කාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී ධීවර බලපත්‍ර නොමැතිව නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් හත්දෙනෙක් ඇතුළුව තහනම් දැලක්, ධීවර යාත්‍රාවක් (වල්ලම්), මසුන් කිලෝ 35ක පමණ ප්‍රමාණයක් සහ එම යාත්‍රාව සඳහා භාවිතා කල පිටත දහන යන්ත්‍රය නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 25ත් 51ත් අතර වයසේ පසුවන කයිට්ස්, අල්ලප්පිඩ්ඩි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට තහවුරු කරගෙන ඇති අතර, නාවික හමුදා භාරයට ගන්නා ලද එම පුද්ගලයින් හත්දෙනා, තහනම් දැල, ධීවර යාත්‍රාව (වල්ලම්), මසුන් කිලෝ 35ක පමණ ප්‍රමාණය සහ පි‍‍ටත දහන යන්ත්‍රය ඇතුළුව යාත්‍රාවේ තිබු අනෙකුත් ධිවර ආම්පන්නද ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා යාපනය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.