සත් සිත් සත් කම් පියස අභිනව වාට්ටු සංකීර්ණය නාවික හමුදාධිපති ගේ සුරතින් විවෘත කෙරේ

නාවික හමුදා ශ්‍රම දායකත්වය යටතේ කරාපිටිය රෝහලේ ඉදිකරන ලද සත් සිත් සත් කම් පියස අභිනව වාට්ටු සංකීර්ණය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ සුරතින් අද 2020 ජුනි 13 දින විවෘත කරන ලදී

කරාපිටිය පිලිකා රෝහල් විශේෂඥ වෛද්‍ය ක්‍රිශාන්ත පෙරේරා මහතාගේ සංකල්පයකට අනුව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සහන සත්කාර කණ්ඩායම, ගාල්ල ශ්‍රී ලංකා පිළිකා සංගමයේ මූලිකත්වයෙන් සහ තවත් විශාල පිරිසකගේ මූල්‍ය පරිත්‍යාගයන් මගින් රුපියල් මිලියන 70 ක පමණ පිරිවැයක් දරා ඉදිකිරීම් සිදු කරන ලද මෙම අභිනව වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් සඳහා නාවික හමුදාව විසින් ශ්‍රම දායකත්වය ලබා දෙන ලදී. ‍

සාමාන්‍ය රෝහල් වාට්ටු සංකීර්ණයකට වඩා නිස්කලංක පරිසරයකින් යුත් මෙම අභිනව වාට්ටු සංකීර්ණයේ අලංකාර ජල තටාකයක් ඉදි කර ඇති අතර, තෙදැති සෙල්මුවා බුදු පිළිමයක් ද තැන්පත් කර ඇත. කරාපිටිය රෝහල වෙත පැමිණ ප්‍රතිකාර ලබන රෝගීන් තිහකට පමන මෙම අභිනව වාට්ටු සංකීර්ණයේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමට පහසුකම් සපයා ඇති අතර, මෙම අවස්ථාව සදහා දකුණු විධානය භාර අඥාපති රියර් අද්මිරාල් කස්සප පෝල් ඇතුළු නිලධාරින් පිරිසක් සහ කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ තවත් බොහෝ පිරිසක් සහභාගී වී සිටින ලදී.

ඉදිකිරීම් ආරම්භ කිරීමට ප්‍රථම අතහැර දමන ලද හබරල ගාලක් ලෙස පැවති මෙම භූමි භාගය තුළ මෙතරම් අලංකාර වාට්ටු සංකීර්ණයක් ඉදි කිරීම සම්බන්ධයෙන් මෙම අවස්ථාවට පැමිණි සියලු දෙනා නාවික හමුදාව වෙත සිය ස්තුතිය පුද කර සිටින ලදි.