නාවික හමුදාධිපති ගේ ප්‍රධානත්වයෙන් ගිංතොට වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කෙරේ

වෙරළ තීරයන් ආරක්‍ෂා කර ගැනීම හා සංරක්‍ෂණය කර ගැනීමේ අරමුණින් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (2020 ජුනි 13) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ සහභාගිත්වයෙන් ගිංතොට වෙරළ තීරය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන ලදී. ‍

පසුගිය දිනවල දිවයිනට ඇද හැලුණු දැඩි වර්ෂාවත් සමග ගිං ඟගේ ජල මට්ටම ඉහළ යාමෙන් එම සැඩ පහරට හසුව ගසාගෙන එන ලද කැලි කසල සහ දැව කඳන් ගිංතොට වෙරළේ ඉතා විශාල ලෙස ගොඩ ගැසී ඇත. ‘නීල හරිත ව‍්‍යාපෘතිය’ යටතේ දිවයින වටා වූ සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් රැසක් නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරමින් සිටින අතර. එහි තවත් එක් අධියරක් වශයෙන් ගිංතොට වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (2020 ජුනි 13) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ සහභාගිත්වයෙන් පවත්වන ලදි. මෙම අවස්ථාව සදහා දකුණු නාවික විධානය භාර අඥාපති රියර් අද්මිරාල් කස්සප පෝල් ඇතුළු දකුණු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් සහභාගීවු අතර, එහිදී වෙරළ තීරයෙහි විසිරී තිබූ උණ පදුරු, දැව කඳන්, ආදි කැළිකසල විශාල ප්‍රමාණයක් ඉවත් කිරීමට කටයුතු කරන ලදී.

තවද ඉදිරියේදීද මෙවැනි වැඩසටහන් හරහා දිවයින වටා වූ වෙරළ තීරය අපද්‍රව්‍යවලින් තොර සුන්දර වෙරළ තීරයක් බවට පවත්වාගෙන යාමට නාවික හමුදාව නිරන්තරයෙන් කැපවී කටයුතු කරමින් සිටී.