තහනම් දැල් යොදා ගනිමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් 8 දෙනෙකු නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව හා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව 2020 ජුනි මස 12 වන දින අනලතිව් දූපතේ වෙඩියාඩි ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී තහනම් ධීවර දැල් දහතුනක් (13) සමග පුද්ගලයින් 8 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

තහනම් ධීවර දැල් යොදා ගනිමින් මසුන් ඇල්ලීමේ කටයුතුවල නිරතවන පුද්ගලයින් නීතියේ රැහැනට කොටු කර ගැනීම සඳහා නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් දියත් කරමින් සිටි. එලෙස උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නාවික පුද්ගලයින් පිරිසක් එක්ව 2020 ජුනි මස12 වන දින අනලතිව් දූපත අවට විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කරන ලදී. එහිදී නීති විරෝධී දැල් භාවිතා කර මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 8 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට සමත් වූ අතර, ඔවුන් භාවිතා කළ නීතිවිරෝධී දැල් 13 ද මෙහිදී නාවික හමුදා භාරයට ගන්නා ලදී.

මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද පුද්ගලයින් වයස අවුරුදු 19 ත් 48ත් අතර වයසේ පසු වන අනලතිව් දූපතෙහි පදිංචි කරුවන් බවට හඳුනාගෙන ඇති අතර, අදාළ සැකකරුවන් සහ නාවික හමුදා භාරයට ගන්නා ලද තහනම් ධීවර දැල් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා කයිට්ස් ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කරන ලදී.