කන්කසන්තුරය වරායේ නව PH BAY නාවික ජැටිය විවෘත කෙරේ.

කන්කසන්තුරය වරායේ නාවික මෙහෙයුම් පුළුල් කීරිම සදහා නාවික හමුදාවේ තාක්ෂණික සහ ශිල්පීය ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද PH BAY නම් නව නාවික ජැටිය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා විසින් 2020 ජුනි17 වන දින විවෘත කරන ලදි.

2011 වර්ෂයේ එවකට උතුරු නාවික විධානය බාර නියෝජ්‍ය ආඥාපති වශයෙන් වත්මන් නාවික හමුදාධිපති තුමන් කටයුතු කල අවදියේ, දූරදර්ෂි දැක්මක් සහිත ඡ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස එතුමන් හට ඇතිවු සංකල්පයක් මෙලෙස යාතාර්ථයක් බවට පත් කරමින් කන්කසන්තුරය වරාය පරිශ්‍රය තුළ ‘U’හැඩැති ජැටියක් නිර්මාණය කරන ලදි. මෙම ජැටිය දිගින් මීටර් 100 ක්ද පලල මීටර් 70 ක්ද ගැඹුර අඩි 12 ක්ද වේ. නාවික නෞකා උත්තර ආයතනයට අයත් මෙම ස්ථානයේ බාදිය අවස්ථාවේ ජලය සිදී ගොස් මතුවන විශාල හුණුගල් හා තද පාෂාණ ස්ථරය, කිමිදුම් අංශය හා සිවිල් ඉංජිනේරු අංශයට අයත් නිලධාරින් හා නාවිකයින්ගේ ශිල්පීය දැනුම, කැපවීම හා ශ්‍රම දායකත්වයෙන් මහත් පරිශ්‍රමයකින් කැණීම් සිදුකර 2019 ජුලි 01 වන දින සිට මාස 08ක් වැනි කාලයක් තුල ඉවත් කරනු ලැබීය.

මෙම ව්‍යාපෘතිය සදහා ඇස්තමේන්තු ගත පිරිවැය රුපියල් මිලියන 1200 ක් වු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා ගේ නිරන්තර මග පෙන්වීමද, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි සහ උතුරු නාවික ප්‍රදේශභාර ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීර ගේ පුර්ණ අධීක්ෂනයද, උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් හා නාවිකයන්ගේ දැඩි කැපවීම සහ උනන්දුවද මත මෙම ව්‍යපෘතිය රුපියල් මිලියන 94 ක් වැනි ඉතා අඩු පිරිවැයකින් නිම කිරිමට හැකිවිය.

තවද මෙම උත්සව අවස්ථාව දැනට කොවිඩ් 19 හේතුවෙන් ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව සිදුකරන ලද අතර, මෙම අවස්ථාව සදහා යාපනය ආරක්ෂක සේනා අඥාපති, මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය, උතුරු ප්‍රදේශභාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පද්මසිරි මුණසිංහ, උතුරු මැද නාවික ප්‍රදේශභාර ආඥාපති රියර් අද්මිරාල් ලලිත් දිසානායක, නැගෙනහිර නාවික ප්‍රදේශභාර ආඥාපති රියර් අද්මිරාල් රුවන් පෙරේරා,නියෝජ්‍ය ආඥාපති උතුරු නාවික ප්‍රදේශය, කොමදෝරූ සුදත් ලේල්වල,පලාලි ගුවන් හමුදා කදවුරේ අණදෙණ නිලධාරි ගෲප් කපිතාන් අසේල ජයසේකර, නාවික හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිලධාරින්,ජේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින් ඇතුළු නාවිකයින් විශාල පිරිසක් සහභාගී වන ලදි.