උතුරු නාවික විධානයේ අභිනවයෙන් ඉදිකරන ලද හුදෙකලා වාට්ටු සංකිර්ණය හා නැව් බද කාර්මික වැඩපල විවෘත කෙරේ.

COVID-19 ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා උතුරු නාවික විධාන රෝහල් පරිශ්‍රය තුල අභිනවයෙන් ඉදිකරන ලද හුදෙකලා වාට්ටු සංකිර්ණය සහ නවීන තාක්ෂණික උපකරණ වලින් සමන්විත නැව් බද කාර්මික වැඩපලක් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා විසින් 2020 ජුනි මස 18 වන දින විවෘත කරන ලදී.

නාවික හමුදාධිපති තුමාගේ උපදෙස් මත නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි සහ උතුරු නාවික ප්‍රදේශභාර ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීර ගේ අධීක්ෂණයෙන් වර්ථමානයේ සීග්‍රයෙන් පැතිරී යන covid-19 ගෝලීය වසංගතයට සාර්ථකව මුහුණ දීමේ අරමුණින් උතුරු විධාන නාවික විධාන රෝහල් පරිශ්‍රයේ ඉදිකරන ලද මෙම හුදෙකලා වාට්ටු සංකිර්ණය covid-19 සම්මත මාර්ගෝපදේශයන්ට අනුව මාසයක් වැනි ඉතා කෙටි කාලයක් තුල ඉදිකිරීම් කටයුතු අවසන් කරන ලදි. Covid-19 රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන සම්මත පහසුකම් වලින් සහ විශේෂ ප්‍රතිකාර ඒකකයකින්ද සමන්විත වන මෙම වාට්ටු සංකිර්නයේ එකවර රෝගීන් 12 දෙනෙකු සදහා නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුකම් සලසා ඇත.

එමෙන්ම උතුරු නාවික විධානයේ නාවික ‍මෙහෙයුම් සදහා යොදවනු ලබන නෞකා සහ යාත්‍රා වල සියලුම නැව්බඳ කාර්මික කටයුතු නවීන තාක්ෂණික උපකරණ වලින් සමන්විත නව නැව් බද කාර්මික වැඩපල විවෘත කිරීමත් සමග ඉතා පහසුවෙන් සිදු කිරීමට හැකියාව ලැබෙනු ඇත.

තවද මෙම උත්සව අවස්ථාව දැනට පවතින කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව සිදුකරන ලද අතර,මෙම අවස්ථාව සඳහා අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු රියර් අද්මිරාල් කේඩබ්ඒආර්අයි රණසිංහ, අධ්‍යක්ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු රියර් අද්මිරාල් ඒඑස්කේ සේනාධීර, උතුරු නාවික ප්‍රදේශභාර නියෝජ්‍ය ආඥාපති කොමදෝරු සුදත් ලේල්වල ඇතුළු නිලධාරින් හා නාවිකයින් විශාල පිරිසක් සහභාගී වන ලදි.