වලංගු බලපත්‍ර නොමැතිව මසුන් අල්ලමින් සිටි තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 අප්‍රේල් 18 වන දින තලෙයිමන්නාරම ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරතව සිටි පුද්ගලයන් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ සාගර සහ මත්ස්‍ය සම්පත සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර ආරක්‍ෂක මුර සංචාරයන් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව නාවික හමුදා උතුරු මැද නාවික විධානයට අයත් මුර යාත්‍රාවක් මගින් 2020 අප්‍රේල් 18 වන දින තලෙයිමන්නාරම ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී සිදු කල මුර සංචාරයකදී සැක සහිත යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කිරීමේදී නීති විරෝධී ලෙස වලංගු ධීවර බලපත්‍ර රහිතව මසුන් අල්ලමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු (03), ධීවර යාත්‍රාවක් (01) සහ එම ධීවර යාත්‍රාව තුල තිබූ අනෙකුත් ධීවර ආම්පන්නද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයන් වයස අවුරුදු 22 ත් 31 ත් වයස්වල පසුවන තලෙයිමන්නාරම, පේසාලෙයි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, එම පුද්ගලයන්, ඩිංගි යාත්‍රාව, සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා මන්නාරම, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදි.