නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 05 දෙනෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2020 ජුනි 22 වන දින උතුරු මැද නාවික විධානයට අයත් මුහුදු ප්‍රදේශයේ සිදු කළ ‍මුර සංචාරයන් අතරතුරදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 05 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

ඒ අනුව, උතුරු මැද නාවික විධානය විසින් 2020 ජුනි 22 වන දින ඉරනතිව් දූපතට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලද සෝදිසි මෙහෙයුමේදී කිමිදුම් කටයුතු සිදු කරමින් නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි. එම පුද්ගලයින් වයස අවුරුදු 23 ත් 29 ත් අතර පසුවන නච්චිකුඩා ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, එහිදී ඔවුන් විසින් අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 37 ක්, ඩිංගි යාත්‍රාවක් සහ කිමිදුම් උපකරණ කිහිපයක්ද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

එමෙන්ම, එම නාවික විධානය විසින්ම 2020 ජුනි 22 වන දින මන්නාරම, තාවුල්පාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේදී සහ තලෙයිමන්නාරම, ඉරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශය‍ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හි වලංගු ධීවර බලපත්‍ර රහිතව නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවීමෙන් අනතුරුව වෙරළ තීරයට පැමිණි අවස්ථාවේදි පුද්ගලයන් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි. එම පුද්ගලයින් වයස අවුරුදු 19 ත් 48 ත් අතර පසුව මන්නාරම හා ඉරුක්කුලම්පිඩි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර එහිදි තහනම් දැලක්, මසුන් කිලෝ 07ක ප්‍රමාණයක්, පිටත දහන යන්ත්‍ර සමඟ ධීවර යාත්‍රාවන් දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙසේ නාවික හමුදා භාරයට ගත් එම පුද්ගලයන් සමග අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා පිලිවෙලින් මුලන්කාවිල් ‍පොලිසිය, මන්නාරම ධීවර පරීක්‍ෂක කාර්යාලය සහ පේසාලේ සහකාර ධීවර පරික්‍ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.

මෙවැනි නීති විරෝධී ක්‍රම භාවිතා කර මසුන් ඇල්ලීම තුලින් සාගර සම්පත් විශාල වශයෙන් විනාශයට පත්වන එබැවින් ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපය තුල ඇති සාගර සම්පත් සුරක්‍ෂිත කිරීම සඳහා මෙවැනි නීති විරෝධී ක්‍රියාවන් මැඩපැවැත්විම කෙරෙහි නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටි.