මුහුදු මාර්ගයෙන් ගොඩබිමට ගෙන ඒමට උත්සාහ කල කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව 2020 ජුනි 24 වන දින අළුයම උතුරු මුහුදු තීරයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් කේරළ ගංජා නැමති ප්‍රභේදයට අයත් මත්ද්‍රව්‍ය ‍තොගයක් ගොඩ බිමට ගෙන ඒමට උත්සාහ කල පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

මුහුදු මාර්ග ඔස්සේ දිවයිනට රැගෙන ඒමට උත්සාහ කරන මත්ද්‍රව්‍ය ජාවාරම් මර්ධනය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් දියත් කරමින් සිටී. එලෙස 2020 ජුනි 24 වන දින අළුයම, උතුරු නාවික විධානය මගින් ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සහය ඇතිව උතුරු මුහුදු තීරයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැක කටයුතු අයුරින් යාත්‍රා කරමින් තිබු ඩිංගි යාත්‍රාවක් පරික්ෂා කිරිමේදි එහි තිබී. පාර්සල්‍ 24 ක් තුල අසුරණ ලද කේරළ ගංජා නැමති මත්ද්‍රව්‍ය ප්‍රභේදය කිලෝ ග්‍රෑම් 57.275 ක ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් වූ අතර, අදාල මත් ද්‍රව්‍ය සහ පුද්ගලයින් කොවිඩ් - 19 ගෝලීය වසංගත තත්වය සැලකිල්ලට ගනිමින් නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදී.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 33 ත් 39 ත් අතර වයසේ පසුවන අය බවට හඳුනාගෙන ඇති අතර, එම පුද්ගලයින්, ඩිංගි යාත්‍රාව, කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 57.275 ක ප්‍රමාණය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා කයිට්ස් ‍පොලිසිය වෙත භාරදීමට කටයුතු කරන ලදි.

ඒ අනුව මෙලෙස නාවික හමුදා භාරයට ගත් මත් ද්‍රව්‍ය තොගයේ විදී වටිනාකම රුපියල් ලක්ෂ 55 ක‍ට ආසන්න වන අතර මෙම වසර තුලදි පමනක් මෙම තොගයද ඇතුලුව කේරළ ගංජා නැමති මත්ද්‍රව්‍ය ප්‍රභේදයට අයත් මත් ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 2911 කට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදා භාරය‍ට ගැනිමට සමත් වි ඇත.