නීති විරෝධී දැල් භාවිතාකර මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 18 ක් සහ ඩිංගි යාත්‍රාවන් 04 ක් නාවික හමුදා භාරයට.

නාවික හමුදාව 2020 ජුනි මස 23 සහ 25 යන දිනයන්හි නැගෙනහිර මුහුදු තීරයේ සිදුකල සිදුකළ සෝදිසි මෙහෙයුම් තුනකදී (03) ත්‍රිකුණාමලය, පවුල්තුඩුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ මුලතිව්, කොක්කුතුඩුවායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ නීති විරෝධී තහනම් දැල් යොදා ගනිමින් මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 18 ක් සහ ඩිංගි යාත්‍රාවන් 04 ක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

නීති විරෝධී ක්‍රම භාවිතා කරමින් සිදුකරනු ලබන මසුන් ඇල්ලීමේ ජාවාරම් මර්ධනය මගින් සාගර පරිසරය සහ සාගර ජීවීන් ආරක්ෂා කිරීමට නාවික හමුදාව නිරන්තරයෙන් කටයුතු කරමින් සිටී. ඒ අනුව ක්‍රියාත්මක කල තවත් මෙහෙයුම් කිහිපයක් 2020 ජුනි මස 23 සහ 25 යන දිනයන්හි නැගෙනහිර විධානයේ නාවික පුද්ගලයින් විසින් ත්‍රිකුණාමලය හා මුලතිවු මුහුදු ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී. එහිදී පවුල් තුඩුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ දී තහනම් දැල් භාවිතා කරමින් මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 08 දෙනෙකු මසුන් කිලෝ ග්‍රෑම් 93 ක් සහ ඩිංගි යාත්‍රාවන් දෙකක් (02) ඇතුළු තවත් ධීවර ආම්පන්න කිහිපයක්ද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කල අතර. මුලතිව්, කොක්කුතුඩුවායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ සිදු කල තවත් මෙහෙයුම් දෙකකදී තවත් පුද්ගලයින් 10 ‍දෙ‍නෙකු සහ ඩිංගි යාත්‍රාවන් දෙකක් (02) ඇතුළු ධීවර ආම්පන්න කිහිපයක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද පුද්ගලයින් වයස අවුරුදු 22ත් 50ත් අතර වයසේ පසුවන දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි පදිංචි කරුවන් බවට හදුනාගෙන ඇති අතර, එම සැකරුවන් තහනම් දැල්, ධීවර යාත්‍රා සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය සහ මුලතිව් සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදි.