නාවික හමුදා පූර්ණ ශ්‍රම දායකත්වයෙන් ඉදිකෙරෙන නිට්ටඹුව, ඌරාපොල නව ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය සඳහා මුල්ගල තබයි.

මත්ද්‍රව්‍ය භාවිතය හා නීති විරෝධී ප්‍රවාහනය පිටුදැකීමේ ජාත්‍යන්තර සැමරුම් දිනය‍ට සමගාමිව නාවික හමුදා පූර්ණ ශ්‍රම දායකත්වය යටතේ ඉදි කිරීමට නියමිත නිට්ටඹුව, ඌරාපොල මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන් සඳහා ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානය සඳහා මුල්ගල තැබීම ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ සහභාගිත්වයෙන් 2020 ජුනි 26 වන දින සිදු කරන ලදී.

මේ සඳහා එක්සත් ජාතින්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිලිබඳ ආයතනය හා ජර්මානු රජය අනුග්‍රහය දක්වනු ලබන අතර, මෙම අවස්ථාව සඳහා ආරක්ෂක ලේකම් තුමන් සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ඇතුළු පිරිසක් සහභාගි විය. මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම නාවික හමුදා පූර්ණ ශ්‍රම දායකත්වයෙන් නාවික හමුදා ඉංජිනේරු කාර්මික නාවික පුද්ගලයින් විසින් ඉදි කිරීමට නියමිතව ඇති අතර මේ සදහා සේවාලාභින් දහසකට එකවර නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනිමට අවස්ථාව හිමි වේ.

තවඳ, මෙම අවස්ථාව සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවීනාත ආරියසිංහ, එක්සත් ජාතින්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිලිබඳ ආයතනයේ ජර්මානු නිළධාරින් සහ රාජ්‍ය නිළධාරින් ඇතුලු පිරිසක් ඳ සහභාගි වී සිටින ලදී.