නීති විරෝධී දැල් භාවිතාකර මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 08 ක් සහ ඩිංගි යාත්‍රාවන් 02 ක් නාවික හමුදා භාරයට.

නාවික හමුදාව 2020 ජුනි මස 26 සහ 27 යන දිනයන්හි නැගෙනහිර මුහුදු තීරයේ සිදුකල සෝදිසි මෙහෙයුම් දෙකකදි (02) ත්‍රිකුණාමලය, සීනම්වේලී වෙරළ ප්‍රදේශයේ සහ වාකරේ, කන්ඩලඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ නීති විරෝධී තහනම් දැල් යොදා ගනිමින් මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 08 ක් සහ ඩිංගි යාත්‍රාවන් 02 ක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

නීති විරෝධී ක්‍රම භාවිතා කරමින් සිදුකරනු ලබන මසුන් ඇල්ලීමේ ජාවාරම් මර්ධනය මගින් සාගර පරිසරය සහ සාගර ජීවීන් ආරක්ෂා කිරීමට නාවික හමුදාව නිරන්තරයෙන් කටයුතු කරමින් සිටී. ඒ අනුව ක්‍රියාත්මක කල තවත් මෙහෙයුම් කිහිපයක් 2020 ජුනි මස 26 සහ 27 යන දිනයන්හි ත්‍රිකුණාමලය, සීනම්වේලී වෙරළ ප්‍රදේශයේදී සහ වාකරේ, කන්ඩලඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී. එහිදී ත්‍රිකුණාමලය, සීනම්වේලී වෙරළ තීරයේදි යාත්‍රාවක් තුල තහනම් දැලක් හා තවත් ධීවර ආම්පන්න කිහිපයක්ද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කල අතර, වාකරේ, කන්ඩලඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේදී සිදු කල තවත් මෙහෙයුමකදී ධිවර කටයුතු වල නිරතවු තවත් පුද්ගලයින් 08 ‍දෙ‍නෙකු සහ ඩිංගි යාත්‍රාවක් සමග තහනම් දැලක් ඇතුළු ධීවර ආම්පන්න කිහිපයක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද පුද්ගලයින් වයස අවුරුදු 19ත් 50ත් අතර වයසේ පසුවන එම ප්‍රදේශයේම පදිංචි කරුවන් බවට හදුනාගෙන ඇති අතර, එම සැකකරුවන්, තහනම් දැල්, ධීවර යාත්‍රා සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය සහ මඩකළපුව සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාල වෙත භාර දීමට කටයුතු කරන ලදි.